Tuesday, October 22, 2024
Follow Us
මෛත්‍රී ඉන්නෙත් ගෝඨා එක්ක. දයාසිරිලා මේවා දන්නෙ නෑ - එස්.බී.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතාට වුවමනා ආකාරයෙන් විනය පරීක්ෂණ පැවැත්වීමට නොහැකි බව එම පක්ෂයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා පවසයි.

දයාසිරි ජයසේකර යනු පක්ෂයේ මහලේකම්වරයාත් නොව, වැඩබලන මහලේකම්වරයා බව පැවසූ ඒ මහතා විනය පරීක්ෂණ පවත්වන්නේ නම් ඊට අදාළ තීන්දුව ගත යුත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් බවයි සඳහන් කළේ.

එහෙත් මේ වනවිට ජනාධිපතිවරයා ද සිටින්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය සඳහා සහාය පළ කළ යුතුය යන මතයේ බව පැවසූ දිසානායක මහතා දයාසිරි ජයසේකර මහතා මේවා දයාසිරි ජයසේකර මහතා නොදන්නා බවත් ප්‍රකාශ කළේය.

එසේම දයාසිරි ජයසේකර මහතාට මීට පෙර පක්ෂයක ඉහළ තනතුරු දරා පළපුරුද්දක් නොමැති හෙයින් ඔහු විනය පරීක්ෂණ පැවැත්වීම ගැන කතා කරන බවත් ඒ මහතා පැවසීය.

එස්.බී. දිසානායක මහතා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සමුළුවට සහභාගී වූ සියලුම ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට එරෙහිව වහාම විනය පරීක්ෂණ පවත්වන බවට දයාසිරි ජයසේකර මහතා පෙරේදා (11) කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

(LNW)