Tuesday, October 22, 2024
Follow Us
මම ඕනෑම මොහොතක ජනතාව වෙනුවෙන් දිවි පුජා කරන්න සුදානම් : අමාත්‍ය සජිත් ප්‍රේමදාස

තමන් ඕනෑම මොහොතක ජනතාව වෙනුවෙන් දිවිපිදීමට සුදානම් බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කරනවා. බදුල්ලේ වීල්ස් පාක් ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන මහජන රැලිය ආරම්භ කරමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

" ජනතාවාදී ප්‍රගතිශීලි අලුත් ආරම්භයක් ලබා ගැනීමට යන මේ මොහොතේ අධිරාජ්‍යවාදීන් විනාශ කල ඌව වෙල්ලස්ස භූමියෙන් එය ආරම්භ කිරීමට හැකිවීම ගැන මම සතුටු වෙනවා. ඒ සම්බන්ධයෙන් වෙහෙස මහන්සිවූ හරීන් ප්‍රනාන්දු ඇතුළු සියලු දෙනාට මම ස්තුතිවන්ත වෙනවා.

මේ අලුත් ගමන විසි හතර පැයේම දින 365 දවසේ කැපවී රට වෙනුවෙන් කැපවී සේවය කරන බව මම ඔබට ප්‍රකාශ කරමි. රටක් පාලනය කිරීමේදී රාජ්‍ය පාලනය කියන කාර්ය තාවකාලික කාර්‍යයක්. එය අපිට ලැබෙන්නේ පොදු ජනතාවගේ වරමින්, පොදු ජනතාවගේ ආශිර්වාදයෙන්. මෙම ගමනේ මුලින්ම සිටින්නේ පොදු ජනතාවයි. රටක් පාලනය කිරීමේදී කිසිදු හීනමානයකින් තොරව රට පාලනය කල යුත්තේ දක්ෂ එමෙන්ම බුද්ධියෙන් පරිපුර්ණවූ රට සීඝ්‍ර සංවර්ධනයක් කරා රැගෙන යා හැකි සුදුස්සාට සුදුසු තැන දීමෙන් කටයුතු කළ යුතුයි.

බුද්ධිමත්, කාර්යශුර වගකිමක් දැරිය හැකි පුද්ගලයින් සමග එක්වී මිලියන 22ක් ජනතාවට අවශ්‍ය සියලු දේ ඉටු කිරීමට මම කැපවෙනවා.

මුළු ලෝකයක් පිළිගත් න්‍යාය තමයි රටේ ආර්ථිකයක් දියුණු කිරීමට නම් කුඩා හා මාධ්‍ය පරිමාන ව්‍යාපාරිකයින්ට ඉලක්කගත සහන තුලින් රටේ ධන උත්පාදනය කිරීම ශක්තිමත් කළ යුතුයි. ඒ නිසා අපි සංවර්ධන වේගය ගැන කතා කිරීමේදී අපි දැන ගන්න ඕනේ කුඩා හා මාධ්‍ය පරිමාන ව්‍යාපාරිකයින් ශක්තිමත් කරලා රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න. 

අපේ අලුත් ගමන තුල තරුණ පරපුර ශක්තිමත් කරන්න ඕනේ. ඔවුන් දේශපාලන පාපන්දුවක් කර ගන්නේ නැතුව තරුණ පරපුරේ හැකියාවට ඉඩක් දීලා යල්පැන ගිය අදහස් ඉවත් කරලා රටේ පාලනයට තරුණ පරපුරට ඉඩ ලබාදිය යුතුයි.

රටේ දියුණුවට නව අදහස් වලට නවොත්පාදනයට ඉඩ දෙන්න ඕනේ. ලෝක ආර්ථිකය සමග කරට කර යන්න නව අදහස් අවශ්‍යයි. තොරතුරු තාක්ෂනය වැනි දේ රට තුල ස්ථාපනය කරලා රට දියුණු කිරීමට කටයුතු කරනවා. රටක් පාලනය කිරීමේදී ආවට ගියාට සංකල්ප නිර්මාණ කරන්න බැහැ. ඉලක්කගත වැඩපිළිවලක් තුල මාසිකව, වාර්ෂිකව ජාතික ඉලක්ක ගත කරමින් එම ඉලක්ක සම්පුර්ණ කිරීමේ ගමනක් යන්න ඕනේ. 

එම ගමන තුල රටේ ජනතාවට සෙතක් අත්වෙනවාද කියා අපි සොයා බැලිය යුතුයි. මම ඔබලාට පොරොන්දු වෙනවා අනාගත ශ්‍රී ලංකාව බුද්ධිය දැනුම මත කේන්ද්‍රවූ ශ්‍රී ලංකාවක් බවට පත් කරනවා කියා. 

නව සංවර්ධන ක්‍රමය තුල සංවර්ධනය තුල හැමෝම දිනන්න ඕනේ. කොටසකට විතරක් සහන ලැබිලා කොටසක් ඒ සහන නොමැතිව ඉන්න ඕනේ නැහැ. ගතවූ වසර 15ක සංඛ්‍යා ලේඛන අරන් බලන්න ඕනේ වැඩියෙන්ම ආදායම ලබන්නේ රටේ සිටින පොහොසතුන්. මේ ක්‍රමය වැරදි. අතලොස්සක් පමණක් අත්විදපු ඒ සියලු වරප්‍රසාධ සියලු ජනතාවට ලැබෙන විදිහට කටයුතු කරන්න ඕනේ.

මේ ගමන යන්න අපිට වෙනවා සාම්ප්‍රදායික ක්‍රමයෙන් ඔබ්බට ගිහිල්ලා රාමුවෙන් පිට ගිහිල්ලා අලුත් ගමනක් තුලින් ඔබලාගේ ජන ජීවිතය නගා සිටුවන්න අපිට සිදුවෙලා තියෙනවා. ගතවූ වසර 60-70 ක් යල්පැන ගිය දේ අයින් කරලා සියලු දෙනාට ඒ වරප්‍රසාධ ලබා දෙන්න කටයුතු කරනවා.

රටේ ශක්තිය තරුණයින්.. රටේ සෑම දිස්ත්‍රික්කයක් තුල තුරුණු ශක්තිය සමග එක්ව රට සංවර්ධනය කරා රැගෙන යන්න අවශ්‍ය සියලු පියවර ගන්නවා.

රටේ සංවර්ධනය වෙනුවෙන් දෙපැත්ත පත්තු වෙන විලක්කුවක් අරන් මාගේ පියාණන් රටේ ඇඟලුම් කර්මාන්ත ශාලා 200 ක් සැදීමේ ව්‍යාපෘතිය ආරම්භ කළා. මගෙත් බලාපොරොත්තුව මේ රට අපනයන පදනම් කරගත් ආර්ථිකයක් සැදීමයි. එය කොටසකට පමණක් හිමිවෙන දෙයක් නොවේ. රටේ සියලුම උප දිසාපති කොට්ඨාශය ආවරණය වන පරිදි සියලු දෙනාට කර්මාන්තශාලා ඇරඹීමේ හැකියාව ඉන් ඇති කරනවා.

භාෂා විද්‍යාගාර, තොරතුරු තාක්ෂනය වැනි අධ්‍යාපන මධ්‍යස්ථාන දිවයිනේ සියලු උප දිසාපති කොට්ඨාශය  ආරම්භ කිරීමට සැලසුම් කරලා තියෙනවා. ඒ හරහා ලෝකයට අවශ්‍ය දැනුම අපේ ජනතාව සන්නද්ධ කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය දියුණු කිරීමට අවශ්‍ය දේ ඉටු කරනවා.

රටේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් කැප වෙනවා. ජාතික ආරක්ෂාව කියන්නේ මිලිටරි ආරක්ෂාව පමණක් නොවේ ආර්ථික, දේශපාලන ආරක්ෂාව වෙනුවෙන් කැප වෙනවා. තිස් වසරක් රටේ යුද්ධය වෙනුවෙන් කැපවූ රණවිරුවන් ආරක්ෂා කිරීමේ සැලසුමක් දියත් කරනවා. ආර්ථික දුර්වල වූ තැන ජාතික ආරක්ෂාව දුර්වල වෙනවා. ජාතික ආරක්ෂාව ගැන පුළුල් මනසකින් බලන්න ඕනේ.

අපේ රටේ මධ්‍යම පාන්තික ජනතාව බදු බරින් නිදහස් වෙන්න ඕනේ. ඔවුන්ගේ ජීවිතය ශක්තිමත් කරන්න පොඩි මිනිසාගේ මෙන්ම මධ්‍යම පාන්තික ජනතාවට බරක්වී තිබෙන බදු බරින් ඔවුන් නිදහස් කරනවා.

පිඩිත ජනතාව රැක ගන්න ඕනේ. වතුකර ජනතාව ජිවත් වෙන්නේ ගොඩාක් අමාරුවෙන්. විශාල වතු අයන කම්කරුවන්ගේ මහන්සියෙන් විශාල ලාභ ලබන කොට ඒ කම්කරුවන්ගේ පවුල්වලට මන්ද පෝෂණයෙන් පෙලෙනවා. අපේ නව ගමන තුල රටේ වතුකම්කරු ජනතාව අපි ආරක්ෂා කරන බව මම පොරොන්දු වෙනවා.

මේ කාලය පුරාවට රටේ ආර්ථික විශේෂඥයින් ගෙන් අහනකොට ඔවුන් විවිධ දේ ගැන නිර්වචන ඉදිරිපත් කරනවා. රටේ දුප්පත්කම ගැන පසුගිය වසර 15ක් තිස්සේ හරි හැටි නිර්වචනයක් නැහැ. ජනසංඛ්‍ය ලේඛණ දෙපාර්තමේන්තුව කියනවා 04 දෙනෙක් ගෙන් යුත් පවුලකට මාසිකව ජිවත් වීමට රුපියල් 55,000ක් අවශ්‍යයි කියලා. නමුත් මේ රටේ පවුල් වලින් කියෙන් කීදෙනාටද රුපියල් 55,000ක ආදායමක් මාසිකව ලැබෙන්නේ කියා. මේ සියලු සංඛ්‍යා ලේඛණ වැරදි. මේ රටේ දුකෙන් පෙලෙන සියලු පුරවැසියන් සහ පවුල් ගොඩනැගීමට නවීන ආර්ථික ක්‍රමයක් බිහිකරනවා කියා මම පොරොන්දු වෙනවා. 

ත්‍රස්තවාදයට අපේ රටේ ඉඩක් නැහැ. අපි අනිවාර්යෙන්ම ත්‍රස්තවාදය සහමුලින්ම විනාශ කරනවා. අපි වගබලා ගන්න ඕනේ ත්‍රස්තවාදය, අන්තවාදය නිර්මාණය කරන කුමන්ත්‍රණය කරන අය කවුරුන්ද කියා සොයා බලන්න ඕනේ. අපි අන්තවාදය කරා යන්න හොද නැහැ. එහෙනම් මේ රටේ සියලු ජනතාව සැපවත් කිරීම, ආරක්ෂා කිරීමයි රජයක වගකීම වෙන්නේ. අපේ රටේ ස්වෛරිභාවය රැක ගන්නවා. කිසිදු රටකට මේ දේශය කොටස් කරනන් ඉඩ දෙන්නේ නැහැ. 

නමුත් දේශප්‍රේමිය කියන්නේ ජාතිවාදය, වර්ණ භේදය ඉවත් කරලා සියලු දෙනා එක මවකගේ දරුවන් වගේ මේ රට ශක්තිමත් කරමින් නව ශ්‍රී ලංකාවක් බිහිකරන්න කටයුතු කරන්න ඕනේ.

අද කතාවෙනවා විදේශ ගිවිසුම් ගැන. යම් කිසි ගිවිසුමකින් රටට වාසියක් අත්වෙනවා නම් එය අපි අත්සන් කරන්න ඕනේ. එයින් රටට අවාසියක් වෙනවා නම් අපි එය අත්සන් නොකළ යුතුයි. මම පොරොන්දු වෙනවා රටට හානිකර කිසිදු ආර්ථික, වෙළද හෝ ආරක්ෂක ගිවිසුමක් අපේ පාලන සමයේදී අත්සන් කරන්නේ නැහැ කියලා.

රටේ පරිසරය ආරක්ෂා කරන්න ඕනේ. තෘප්තිමත් රාජ්‍ය සේවයක් බිහිකරන්න ඕනේ. එහෙම රාජ්‍ය සේවයක් අපිට තියෙනවා. එය වඩාත් දියුණු කරන්න ඕනේ.

අපේ ඉදිරි පාලනය දසරාජ ධර්මයන් ගෙන් යුත් රාජ්‍ය පාලනයක්...අපි සියලු අවස්ථාවේදීම මනුස්සකමට ඉඩ දෙනවා. සමහරු කියනවා අපි දුර්වලයි කියලා. මගේ එක දුර්වලකමක් තියෙනවා. දුප්පත් මනුස්සයෙක්ට නිවසක් නැති තැන, පොදු ජනතාව පිඩනයට අසහනයට ලක් වෙන කොට මම දුක්වෙනවා, දරුවන්රැකියාවන් නැතුව ඉන්න කොට මම දුක්වෙනවා. මගේ ඉදිරි පාලන සමයේදී මේ පිඩිත ජනතාව වෙනුවෙන් සේවය කිරීමයි මගේ බලාපොරොත්තුව.

කවුරුත් කියන්න එපා මේ යාචක දේශපාලනය කියලා. අපිට ජනවරම දෙන්නේ ජනතා සේවයට පමණයි. මම කියන්න කැමති නැතිබැරි මිනිසුන් දකින කොට පිඩිත මිනිසුන් දකින කොට මගේ හිත වේදනාවට පත්වෙනවා.

මම එක දෙයක් කියන්න ඕනේ මම දිව දෙකේ දේශපාලකයෙක් නෙමෙයි. මම දිවි තිබෙන තුරා ඔබලාට දෙන වචනය ආරක්ෂා කරලා, ඔබලා වෙනුවෙන් කරන්න පුළුවන් ඉහලම දුෂ්කර ක්‍රියාව කරලා නියත වශයෙන්ම මම මගේ පියා ජනතාව වෙනුවෙන් මහ පාරේදී මියගියා සේ මම මගේ ජනතාව වෙනුවෙන් මේ මොහොතේ උනත් මැරෙන්න බය නැහැ. 

මම ජනතාව අතරින්මයි නොවැම්බර් මාසයේදී යන්න ඕන තැනට යන්න.. මගේ ජීවිතය රට වෙනුවෙන් ජීවිතය පරිත්‍යාග කරන්න සුදානම්" යැයි අමාත්‍ය සජිත් ප්‍රේමදාස කියා සිටියා. 

(Neth News)