Tuesday, October 22, 2024
Follow Us
“මා කිසි කලක අන්තවාදී ත්‍රස්තවාදයට ඉඩ දෙන්නේ නැහැ : මේ දක්වා පැවරු වගකීම් ඉටුකලා සේ මෙයත් ඉටු කරනවා” – ගෝඨාගේ පළමු පොරොන්දුව

ඓතිහාසික සමුළුවේ දී පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂත්වයට තමාව පත් කිරීම සම්බන්ධයෙන් එම පක්ෂයේ නායක මහින්ද රාජපක්ෂ මහතාට සිය ස්තූතිය පිරිනමන බව ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සමුළුව මේ මෙහොතේ අමතමින් ඒ මහතා මෙම අදහස් පළ කරනු ලැබීය.

“ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ එතිහාසික මොහොතක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතා ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස මාව නම් කිරීම මම ගෞරවයෙන් යුතුව පිලිගන්නවා. මෙම තීරණය ගැනීමට මහින්ද රාජපක්ෂ මහතාට උපකාර කළ සියලු දෙනාට මම ස්තුතිය පුද කරනවා. මේ රටේ ගරුතර සංඝරත්නය, සියලුම පුජ්‍ය පක්ෂයට, මාධ්‍යවේදින් ඇතුළු සියලු දෙනාට මම ස්තුතිය පුදකරනවා.

මම මගේ රටට ආදරය කරනවා. මගේ රටේ අනාගතය වෙනුවෙන් දැක්මක් තියෙනවා. භාර දෙන ඕනෑම වගකීමක් ඉහලින්ම ඉටු කිරීමට නොපැකිලුණු මම අද රට වෙනුවෙන් ඉටු කිරීමට තියෙන වගකීම ඉහලින්ම ඉටු කරන්න කැපවෙනවා.

විසි වසරක යුධ හමුදා නිලධාරියෙක් ලෙසත් දස වසරකට ආසන්න කාලයක් රාජ්‍ය සේවකයෙක් ලෙස මා මට ලැබුණු සියලු වගකීම් ඒ ආකාරයෙන්ම සාර්ථකව ඉටු කළා. මම උත්සහ කලේ සීමාවලට කොටු නොවී සම්මතයෙන් ඔබ්බට ගොස් එය ඉටු කිරීමටයි/

මම මිට වසර 35 කට පෙර යුධ හමුදා නිලධාරියෙක් ලෙස සේවය කිරීමේදී මා විසින් නායකත්වය දෙමින් සිදුකළ එක් හමුදා මෙහෙයුමක් සම්බන්ධයෙන් එවකට හමුදාවේ සිටියි ඉහළම නිලධාරියා වන ජෙනරාල් සිරිල් රණතුංග මා ගැන මෙසේ කියා සිටියා. ඒ පවරා දුන් සිමාවෙන් ඔබ්බට ගොස් සේවය කරනු ලබන නිලධාරියෙක් වශයෙන් කියයි/

වසර 30 කට වැඩිය කාලයක් ගිය යුද්ධය වසර තුනහමාරකින් වෙනස් කරන්න සේනාවිධායක මහින්ද රාජපක්ෂ මහතාට අවශ්‍ය උපාය මාර්ගික හා පරිපාලන සහය ලබා දෙන්න හැකිවුයේ ඒ ගුණාංගය නිසයි. පසුකලක නාගරික සංවර්ධන අධිකාරියේ ලේකම්වරයා ලෙස කොළඹ නගරය ආසියාවේ වේගයෙන්ම දියුණු වන නගරය ලෙසත් ක්ෂිතිජ රේඛාව වෙනස් කරමින් දැකුම්කළු ආයෝජන රැසක් ලබා ගැනීමට හැකිවුයේ මා සීමාවෙන් ඔබ්බට ගොස් සේවය කරන නිසයි.

එදා රට වෙනුවෙන් මගේ වගකීම ඉටු කිරීමේදී කිසිදු බලවේගයකට බාධා කරන්න මම ඉඩ දුන්නේ නැහැ. මගේ රටට එරෙහි වෙන කිසිවෙකුට මම හිස නැමුවේ නැහැ. අනාගතයේ මගේ රටේ ස්වෛරීභාවයට අත තියන්න කිසිවෙකුට මම ඉඩ දෙන්නේ නැහැ.

අද මේ රටට අවශ්‍යව තියෙන්න අනාගතය ගැන දැක්මක් ඇති එම සැලසුම් ක්‍රියා කරන්න පුළුවන් දේශප්‍රේමි නායකයෙක්. ජනාධිපතිවරයෙකු ගෙන් ජනතාව බලාපොරොත්තු වන්නේ ඒ දෙයයි. මා ඒ බව ඔප්පු කරලා තියෙනවා.

අපේ රජයක් තුල පළමු කාර්ය භාරය වෙන්නේ රටේ ආරක්ෂාව තහවුරු කිරීමයි. ඔබෙත් ඔබේ දු දරුවන්ගේ ආරක්ෂාව මම භාර ගන්නවා. බෞද්ධ දර්ශනය තුල අපට උගන්වා තිබෙන්නේ සියලු ආගම්වලට ගරු කරන්න කියලා. එක එක ආගම්වලට ගරු කරමින් සංස්කෘතිකයින්ට ගරු කරමින් අපි ජිවත් වුනා. මේ මාතෘ භුමිය තුල ඉපදුනු සියලු දෙනාට බියෙන් සැකයෙන් තොරව ජිවත් වෙන්න අවශ්‍ය සියලු දේ ඉටු කරනවා. මම කිසිදු අවස්ථාවක අන්තවාදී ත්‍රස්තවාදයට ඉඩ තබන්නේ නැහැ.

උතුරේ ජනතාවගේ ගැටළු ගැන අපිට හොද වැටහීමක් තිබෙනවා. ඔවුන්ගේ සියලුම ගැටළු විසදන්න අපේ නව රජය යටතේ ක්‍රියා කරනවා. 2005 වසරේ මහින්ද චින්තය යටතේ පටන් ගත් සංවර්ධනය ඉදිරියේදී යලිත් ආරම්භ කරනවා. පසුගිය කාල සීමාවේදී වියත්මග වැනි සංවිධාන මගින් සිදුකළ අධ්‍යන මෙන්ම මහජනතාව සමග එකතු කර ගත් දැනුමද ඉදිරියේදී අපි මේ සඳහා උපයෝගී කරගන්නවා.

සෑම පුරවැසියෙක්ටම ආරථික ස්ථිරත්වයක් වගේම ගෞරවාන්විතව ජිවත් වීමට ඉඩ සලසා දීම අපේ වගකීමයි. සියලු තරුණ තරුණියන්ට අධ්‍යාපන ක්ෂේත්‍රය තුල අතරමන් නොවී ඉදිරියට යන්න අවශ්‍ය යටිතල පහසුකම් ලබාදීමට අවශ්‍ය සියලු දේ ඉටු කරනවා. තරුණ පරපුරට නව නිර්මාණ සිදුකිරීමට අවශ්‍ය සියලු දේ කරමින් නව තාක්ෂණය හදුන්වාදෙමින් ගෝලීය ආර්ථිකය තුල ඉදිරියට යන්න අවශ්‍ය වටපිටාව සකස් කර දෙනවා.

කාර්යක්ෂම රාජ්‍ය සේවයක් සඳහා රාජ්‍ය නිලධාරියා දේශපාලන ඇඟිලි ගැසීම් වලින් තොර විය යුතුයි. රාජ්‍ය සේවකයාට දේශීය සහ විදේශීය පුහුණුව ලබා දෙන්න කටයුතු කරනවා. ඒ වගේම රාජ්‍ය සේවය තුලට ඊ – තාක්ෂණය උපරිම වශයෙන් භාවිතා කිරීමට කටයුතු කිරීම හරහා ජනතාවට ඉක්මන් සේවයක් වගේම ඒ තුලින් සිදුවන දුෂණය වැළැක්වීමට හැකියි.

සංවර්ධනය සඳහා රටේ දුම්රිය සහ මහ මාර්ග දියුණුව විධිමත්ව සිදුකළ යුතුයි. රෝහල්, කර්මාන්ත, ව්‍යාපාර නගරයට පමණක් සීමා නොවී ගමට රැගෙන යාමට අවශ්‍ය වටපිටාව සකස් කිරීම සිදුකරනවා සේම, රටේ සෑම ප්‍රදේශයකටම අධිවේගී අන්තර්ජාල පහසුකම් ලබාදීමට අවශ්‍ය සියලු දේ සිදුකරනවා. මේ රටේ තුනෙන් එකක පිරිසක් තාම ජිවත් වෙන්නේ කෘෂි කර්මාන්තයෙන් සහ ධිවර කර්මාන්තය හරහායි. එය වැඩිදියුණු කිරීමට නවීන තාක්ෂනය උපයෝගී කර ගන්නවා.

අනාගත පරපුර වෙනුවෙන් පරිසරය ආරක්ෂා කිරීම වැදගත්. මා ආරම්භ කළ හරිත නගර සංකල්පය රටපුරා ව්‍යාප්ත කිරීමට කටයුතු කරනවා. රටේ ස්වභාවික වනාන්තර ආරක්ෂා කාරනාව සේම විනාශවෙමින් පවතින වනාන්තර ආරක්ෂා කිරීමට අවශ්‍ය කටයුතු කරනවා.

මේ රටේ ගුණධර්ම වල පිරිහීමක් දකින්නට ලැබෙනවා. අනෙක් අයට හිරිහැරයකින් තොරව ජිවත් වීමට අවශ්‍ය වතපිටාව සකස් කරනවා. අතීතයේ තිබුනාක් මෙන් කාන්තාවකට බියෙන් සැකයෙන් තොරව මග තොට ගමන් කිරීමේ වටපිටාව සකස් කරලීම අපේ වගකීමක්. ඒ සඳහා මුලික අඩිය තැබිය යුත්තේ රටේ නායකයායි.

අපේ සාරධර්ම සංස්කෘතිය අපිට වැදගත්. අපි සෑම රටක් සමග මිතුරුකම් පැවැත්වීමට සුදානම්, නමුත් කිසිදු අවස්ථාවක අපේ රටේ ස්වාධිනත්වය පාවා දෙන්න සුදානම් නැහැ. ඒ නිසා රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වලදී කිසිදු රටක් හමුවේ දණින් නොවැටෙන සමතත්ත්වයෙන් කටයතු කල හැකි තැනකට රට ගෙන එනවා.

ඉදිරියේදී එන ජනාධිපතිවරණය තීරණාත්මකයි. අපේ රටේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් සියලු දෙනා පක්ෂ පාට භේද වලින් තොරව එක්වෙන්න කියලා මම සියලු දේශප්‍රේමී ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මේ සුවිශේෂී දවසේ මම ඔබගෙන් එක ඉල්ලීමක් කරන්න සුදානම්. අද අපි ආරම්භ කරන්නේ ලංකා ඉතිහාසයේ තවත් ආකාරයක නව ගමනක්. ඒ ගෞරවාන්විත අරමුණ වෙනුවෙන් කරන මැතිවරණ ව්‍යාපාරයද ගෞරවාන්විතව සිදුකළ යුතුයි. ඒ මැතිවරණය තුලදී පරිසරය ආරක්ෂා කිරීමට කටයුතු කරන්න. පොලිතින් එපා. බොරු කියා ජනතාව එපා. ප්‍රතිවාදීන්ට මඩ නොගසන්න. ප්‍රතිවාදීන්ගේ දුර්මත වලට තාර්කිකව පිලිතුරු දෙන්න.

සියලු දෙනාට සහයෝගයෙන් ජිවත් වෙන්න හැකි රටක් ගොඩනගන්න කටයුතු කරමු. මේ දක්වා භාරගත් සියලු වගකීම් නොපිරිහෙලා ඉටුකල මේ වගකීමත් ඉෂ්ඨ කිරීමට මා සුදානම් බව අවසානයේදී යලිත් වරක් මා කීමට කැමැත්තෙමි” ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පැමිණ සිටි ජනතාව අමතා කියා සිටියේය.

(Lanka Leads)