Tuesday, October 22, 2024
Follow Us
සජිත් සුළඟ බදුල්ලෙන් පටන් ගන්නවා - අජිත් පී. පෙරේරා

ලබන සඳුදා එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා‍ගේ ප්‍රධානත්වයෙන් බදුල්ලේ පැවැත්වෙන රැස්වීම සාමාන්‍ය රැස්වීමක් නොව එය එජාප ජනාධිපති ධු අපේක්ෂකයාගේ මැතිවරණ ව්‍යාපාරයේ ආරම්භය වන බව කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා පවසයි.

මෙම රැස්වීම සඳහා රටපුරා සිටින එජාප ආධාරකරුවන් ලක්ෂ ගණනක් සහභාගි වන බවත් ඉදිරියේ පැවැත්වෙන ජනාධිපතිවරණය ජය ගන්නේ කවුද යන්න සම්බන්ධයෙන් මුළු රටටම මෙම රැස්වීමෙන් පණිවුඩයක් ලැබෙන බවත් ඇමතිවරයා සඳහන් කරයි.

එක්සත් ජාතික පාක්ෂිකයන් බහුතරයකගේ ඉල්ලීම වන්නේ සජිත් ප්‍රේමදාස මහතා බවත්, පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ 99% ක්ම සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂකයා වනු ඇතැයි බලාපොරොත්තු වන බවත් පෙන්වා දෙන අජිත් පී. පෙරේරා මහතා පවසන්නේ, ජනාධිපතිවරණය ජයගත හැකි සුදුසුම සහ එකම එජාප නායකයා සජිත් ප්‍රේමදාස මහතා බවයි. එසේම පොදුජන පෙරමුණ, ශ්‍රීලනිපය ඇතුළු ඕනෑම දේශපාලන පෙරමුණකට එරෙහිව ඉදිරිපත් කළ හැකි එකම නායකයා සජිත් ප්‍රේමදාස මහතා බව ද ඔහු පෙන්වා දෙයි.

මීට පෙර හරීන් ප්‍රනාන්දු මහතා ද සජිත් ප්‍රේමදාස මහතාගේ ‍ජනාධිපතිවරණය ප්‍රචාරක වැඩපිළිවෙල මෙම රැස්වීමෙන් ආරම්භ කරන බව ප්‍රකාශ කළ අතර ඒ සඳහා බදුල්ල දිස්ත්‍රික්කය තුළ ප්‍රබල ප්‍රචාරක මෙහෙයුමක් ද දියත් කළේය. කෙසේ වෙතත් ඔහු පසුව ප්‍රකාශ කළේ මෙය තවත් එක් සාමාන්‍ය රැස්වීමක් පමණක් වන බවයි. සජිත් ප්‍රේමදස මහතා පක්ෂයේ ඉහළ පෙළේ නායකයෙකු වන බැවින් ඔහු සිය ආසනයට පැමිණෙන විට ඔහුව පිළිගැනීම ආසන සංවිධායකවරයා ලෙස තමාගේ වගකීම බවත්, සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණ‍ අ‍පේක්ෂකයා ලෙස නම් කරන්නේද යන්න පක්ෂය විසින් මෙතෙක් තීරණය කර නොමැති බව ද ඔහු පසුව ප්‍රකාශ කළේය.

(LNW)