Tuesday, October 22, 2024
Follow Us
සන්ධානය බිහිකිරීම වෙනුවෙන් මහින්දගෙන් ශ්‍රීලනිපයට පොරොන්දුවක්

නව සන්ධානයක් බිහිකිරීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසිවෙකුටත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙතින් කිසිදු අසාධාරණයක් සිදුවීමට තමන් ඉඩ නොතබන බවට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් වෙන්වී තමන්ට කටයුතු කිරීමට සිදුවූයේ ඔවුන් එක්සත් ජාතික පක්ෂයත් සමඟ එක්ව ආණ්ඩුවක් පිහිටුවීම නිසා බව පැවසූ ඒ මහතා දැන් එම තත්වය වෙනස් වී ඇති බැවින් තමන්ට යළි එක්ව කටයුතු කිරීමට කිසිදු බාධාවක් නොමැති බවයි සඳහන් කළේ.

එසේම, තමන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී ඉතාම සාර්ථක සාකච්ඡාවක් පැවැත්වූ බව සඳහන් කළ ඒ මහතා එහෙයින් දැන් එක්ව වැඩ කිරීමට කිසිදු අපහසුතාවක් නොමැති බවත් ප්‍රකාශ කළේය.

තමන්ගේ අරමුණ එක්සත් ජාතික පක්ෂය පරාජය කිරීම බවත් ඒ සඳහා ඉදිරි මැතිවරණවලදී එක ඡන්දයක් පවා ඉතාම වැදගත් වන බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

මහින්ද රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ ඊයේ (09) මහනුවර දිස්ත්‍රික් ශ්‍රීලනිප පළාත් පාලන ආයතන නියෝජිතයින් පිරිසක් සමඟ සාකච්ඡාවක් පවත්වමිනි.

(LNW)