Tuesday, October 22, 2024
Follow Us
හරීනුත් තැටිය මාරු කරයි. සජිත් පිල පසුබසින ලකුණු !

සජිත් ප්‍රේමදාස මහතාට එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය නොලැබෙන්නේ නම් තමන් දේශපාලනයෙන් සමුගන්නා බවට කළ ප්‍රකාශයෙන් අදහස් කළේ සම්පූර්ණ සමුගැනීමක් නොව වසර පහක කාලයක් සඳහා පමණක් සමුගැනීමක් බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතාට අපේක්ෂකත්වය නොලැබුණොත් තමන් වසර පහක් සඳහා දේශපාලන කටයුතුවලින් කෙටි විරාමයක් ලබාගන්නා බවයි ඒ මහතා මෙවර සඳහන් කළේ.

හරීන් ප්‍රනාන්දු මහතා මේ බව පැවසුවේ ඊයේ (08) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

කෙසේවෙතත් පසුගිය ජුලි 23 වනදා වනවිට මේ හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ සජිත් ප්‍රේමදාස මහතාට අපේක්ෂකත්වය හිමිවීම පිළිබඳ තමන්ට දැඩි විශ්වාසයක් ඇති බවත් එසේ නොලැබුණොත් අනිවාර්යයෙන්ම තමන් දේශපාලනය අතැර ගෙදර යන බවත්ය. "අපිට ශුවර්. සජිත් නැත්නම් අපිත් නෑ. මං කලින්ම කිව්වනේ, අපි යනවා. අපි වෙන පැත්තක් බලාගෙන ගෙදරට වෙලා ඉන්නවා" යනුවෙනුයි ඒ මහතා එදින සඳහන් කළේ.

එසේම මීට දින දෙකකට පෙර එනම්, පසුගිය 06 වනදා ද හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කර තිබුණේ සජිත් ප්‍රේමදාස මහතා පිළිබඳව මිස පක්ෂය පිළිබඳ විශ්වාසයක් තමන්ට නොමැති බැවින් සජිත්ට අපේක්ෂක්ත්වය නොලැබෙන්නේ නම් තමන් දේශපාලනයෙන් සමුගන්නා බවය.

එහෙත් මේ වනවිට පක්ෂය තුළ මතුව ඇති තත්වය අනුව සහ සජිත් ප්‍රේමදාස මහතාට ඉතා පහසුවෙන් අපේක්ෂකත්වය දිනාගත හැකිය යන බලාපොරොත්තුව බිඳ වැටීම නිසා සජිත් පාර්ශ්වය යම් පසුබෑමකට ලක්ව සිටින අතර හරීන් ප්‍රනාන්දු මහතාට සිය කතාව වෙනස් කිරීමට ද එම හේතුව බලපා ඇති බවයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කළේ.

(LNW)