Tuesday, October 22, 2024
Follow Us
එජාප විරෝධී පොදු අපේක්ෂකයෙක්. බොහෝවිට මෛත්‍රී තරගකරයි - නිශාන්ත

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ මහින්ද රාජපක්ෂ මහතා අතර පසුගියදා පැවති සාකච්ඡාවේදී එකඟතාවන් කිහිපයකට පැමිණ ඇති බවත් එම එකඟතාවන්ට අනුව ඉදිරියේදී සාකච්ඡා වට කිහිපයකින් අනතුරුව එක්සත් ජාතික පක්ෂ විරෝධී පොදු අපේක්ෂකයකුට සහාය පළ කිරීමට ඔවුන් එකඟතාවකට පැමිණෙනු ඇති බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පවසයි.

එසේම බොහෝවිට මෛත්‍රීපාල සිරිසේන මහතා ද ඉදිරි මැතිවරණයට තරග කිරීමේ තීරණයකට එළඹ සිටින බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

පොහොට්ටුව සමඟ තවමත් එකඟතාවකට පැමිණ නොමැති බව පැවසූ ඒ මහතා සන්ධානයක් සඳහා සාකච්ජා පැවැත්වෙන නමුත් ඒවා තවමත් අවසන් නොමැති බවත් ශ්‍රීලනිපය පැමිණෙන්නේ හිස් අතින් නොව ඡන්ද ලක්ෂ 20 - 25ක් අතර ප්‍රමාණයක් රැගෙන බවත් සඳහන් කරමින් ඒ අනුව ඉදිරියේදී ඊට සාධාරණයක් ඉටුවනු ඇතැයි බලාපොරොත්තු වන බව ද ප්‍රකාශ කළේය.

එමෙන්ම වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන්නේ නම් ශ්‍රීලනිප පාක්ෂිකයින්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අයෙකු සිටිය යුතු බැවින් අනිවාර්යයෙන්ම ශ්‍රීලනිපයෙන් වෙනත් අපේක්ෂකයකු හෝ ඉදිරිපත් කරන බවත් ඒ මහතා අවධාරණය කළේය.

නිශාන්ත මුතුහෙට්ටිගම මහතා මේ බව පැවසුවේ ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායම පෙරේදා (06) රාත්‍රියේ ජනාධිපතිවරයා හමුවීමෙන් අනතුරුව පිටව යද්දී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

(LNW)