Tuesday, October 22, 2024
Follow Us
සාගල සහ රුවන් ෆොන්සේකාගෙන් නෑසූ ප්‍රශ්නය !

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත්කළ විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවට ඊයේ (06) හිටපු නීතිය හා සාමය අමාත්‍යවරුන් වන සාගල රත්නායක මහතා සහ රංජිත් මද්දුම බණ්ඩාර මහතා මෙන්ම ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා ද කැඳවීය.

ඒ පාස්කු ප්‍රහාරයට අදාලව ඔවුන්ගෙන් සාක්ෂි විමසීම සඳහාය.

එහිදී ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් අදාල අමාත්‍යවරුන්ට ඇති සුදුසුකම් සම්බන්ධයෙන් ප්‍රශ්න ‍කෙරුණු අතර එහිදී ඇමතිවරුන් දැ‍ඩිලෙස ප්‍රශ්න කළේ තේරීම් කාරක සභාවේ සාමාජික, හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාය. ඔහුගේ ප්‍රශ්න කිරීම් හමුවේ සාගල රත්නායක මහතා මෙන්ම රුවන් විජේවර්ධන මහතා ද දැඩිලෙස අපහසුතාවයට පත්වූ ආකාරය දක්නට ලැබිණි.

එම ප්‍රශ්න කිරීම් හමුවේ රුවන් විජේවර්ධන මහතා සෘජුවම තමාට සුදුසුකම් නොතිබූ බව පිළිගත් අතර එහෙත් ආරක්ෂක විෂයය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ඉගෙන ගනිමින් තමාට පැවරුණු වගකීම් උපරිම ආකාරයෙන් ඉටු කිරීමට උත්සාහ කළ බව ප්‍රකාශ කළේය.

සරත් ෆොන්සේකා මහතා, අදාල ඇමතිවරුන්ට ආරක්ෂාව පිළිබඳ අත්දැකීම් නොමැති බව හුවා දැක්වීම සඳහා හැමවිටම උත්සාහ කළ බව පෙනෙන්නට තිබූ අතර ඔහු හමුවේ සාගල රත්නායක මහතා සහ රුවන් විජේවර්ධන මහතා සිය මහත්මා ගතිය ඕනෑවටත් වඩා ප්‍රදර්ශනය කරමින් පිළිතුරු ලබාදීමට උත්සාහ කළ බවයි දක්නට ලැබුණේ.

අදාල ඇමතිවරුන්ට තිබෙන අත්දැකීම් සම්බන්ධයෙන් ප්‍රශ්න කළ සරත් ෆොන්සේකා මහතාගෙන්, සාගලට සහ රුවන් වි‍ජේවර්ධනට ඇසිය හැකි ප්‍රශ්නයක් තිබේ.

පාස්කු ප්‍රහාරයට හරියටම වසර 13 කට පෙර 2006 වසරේ අප්‍රේල් 25 වැනිදා කොළඹ යුද හමුදා මූලස්ථානය වෙත එල්ටීටීඊ සංවිධානය විසින් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කළේය. ඒ සඳහා මරාගෙන මැරෙන‍ බෝම්බකාරිය පැමිණියේ ගැබිණි මවක් සේ සැරසීගෙනය. මෙම ප්‍රහාරයෙන් සරත් ෆොන්සේකා මහතා බරපතල තුවාල ලැබූ අතර පුද්ගලයන් 08 දෙනෙකු මිය ගියේය.

පාස්කු ප්‍රහාරය හමුවේ සාගලලාගේ රුවන් විජේවර්ධනලාගේ ආරක්ෂක දැනුම ගැන ප්‍රශ්න කරන සරත් ෆොන්සේකා මහතා එවකට හමුදාපතිවරයා‍ වශයෙන් 'අදාල ප්‍රහාර එල්ල වන බව දැන සිටියේද, එසේ දැන සිටියා නම් එය වළක්වා ගැනීමට අසමත් වූයේ ඇයි ?' යන්න විමසා සිටියේ නම්, සරත් ෆොන්සේකා මහතා ඊයේ ප්‍රශ්න කළ ආකාරය කෙතරම් සාධාරණද යන්න ඔහුටම වැටහෙනවා නොඅනුමානය.

(LNW)