Tuesday, October 22, 2024
Follow Us
ජනාධිපතිවරණය බෑ වගේ - මහ මැතිවරණයෙන් එන්න : සිරිසේනට යෝජනාවක් !

ජනාධිපති සිරිසේන එළඹෙන ජනාධිපතිවරණය සඳහා පොදු සන්ධානයක් ගොඩනගා ගැනීමට නොහැකි වුවහොත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අපේක්ෂකයාට සහයදී මහ මැතිවරණය සඳහා පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් තරග කළ යුතු බවට යෝජනාවක් ගෙන ඒමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු සූදානම් වන බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

වාර්තා වන ආකාරයට මේ මන්ත්‍රීවරුන්ගේ තක්සේරුව වී ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ කොටසක් සමඟ හෝ පොදුජන පෙරමුණ සමඟ දේශපාලන සන්ධානයක් බිහිකිරීම හරහා ජනාධිපති අපේක්ෂකත්වය ලබා ගැනීමට ජනාධිපති සිරිසේනට නොහැකි නම් මේ යෝජනාව ක්‍රියාත්මක කිරීම වඩාත් වැදගත් වන බවය.

මේ වන විට පොදුජන පෙරමුණ සමඟ පවත්වනු ලැබූ සාකච්ඡා වලදී ජනාධිපති ධූර අපේක්ෂකත්වය සිරිසේන ජනාධිපතිට ලබාදීම සම්බන්ධව එම පාර්ශවයේ බරපතල විරෝධයක් පවතින බවත් ඒ අනුව වඩාත් යෝග්‍ය වන්නේ පොදුජන පෙරමුණ සමඟ ඇතිකරගන්නා සන්ධානයක් හරහා අග්‍රාමාත්‍ය ධූරයවත් ලබාගැනීම බවත් ඔවුන්ගේ නිර්දේශය වී තිබෙන බවත් වාර්තා වෙයි.

තවද පොදුජන පෙරමුණ සමඟ සන්ධානයක් ඇතිකර ගන්නවා නම් එය ජනාධිපතිවරණය පැවැත්වීමට පෙර එනම් එළඹෙන අගෝස්තු 11 වනදාට පෙර ඇතිකර ගත යුතු බවත් නොඑසේනම් තමන් තවදුරටත් ජනාධිපති සිරිසේනගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලනය කිරීම සම්බන්ධව තීරණයක් ගැනීමට සිදුවන බව පක්ෂ නායකත්වයට දැන්වීමටද මේ මන්ත්‍රීවරුන් තීරණය කර ඇති බවත් දැනගන්නට ඇත.

ශ්‍රීලනිප මන්ත්‍රී 8ක් පොහොට්ටු සාමාජිකත්වය ගැනීමට සූදානම් !

මේ අතර වැඩිදුරටත් ලැබෙන දේශපාලන ආරංචිමාර්ග අනුව දැනට ජනාධිපති සිරිසේන සමඟ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස කටයුතු කරන මන්ත්‍රීවරුන් කිහිපදෙනා අතුරින් 8 දෙනෙකු එළඹෙන අගෝස්තු 11 වනදා ට නියමිත පොදුජන පෙරමුණ සම්මේලනයේදී පොහොට්ටු සාමාජිකත්වය ලබා ගැනීමේ සූදානමක් පවතියි.

ඔවුන් මේ වන විටත් පොහොට්ටු සාමාජිකත්වය ලබා ගැනීම සම්බන්ධව සාකච්ඡා කර ඇති බවත් වාර්තා වන අතර එම 8 දෙනා සඳහා ආසන සංවිධායක ධුර සහ එක් අයෙකුට දිස්ත්‍රික් නායක ධුරයක් ලබාදීමට පොහොට්ටු පාර්ශවය එකඟව ඇති බවත් දැනගන්නට ඇත.

(News Tube)