Sunday, September 20, 2026
Follow Us
චීනය සහ දකුණු ආසියානු රටවල් සමඟ සාගර සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට ශ්‍රී ලංකාව සූදානම් -  අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්

චීනය සහ දකුණු ආසියානු රටවල් සමඟ සාගර විද්‍යාව, ධීවර කර්මාන්තය, ජලජීවී වගාව, නීල ආර්ථිකය, තාක්ෂණය, ආයෝජන, මානව සම්පත් සංවර්ධනය සහ දැනුම හුවමාරුව ඇතුළු ක්ෂේත්‍ර රැසක දීර්ඝකාලීන හා ප්‍රායෝගික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට ශ්‍රී ලංකාව සූදානමින් සිටින බව ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා පැවසීය.

තෙදින නිල සංචාරයක් සඳහා චීනයට පැමිණ සිටින අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ක්විංඩාඕ (Qingdao) බටහිර වෙරළබඩ නව කලාපයේ සැප්තැම්බර් 17 සහ 18 යන දෙදින පැවති “චීන – දකුණු ආසියානු රටවල සාගර සහයෝගීතා සංසදය” (China–South Asian Countries Marine Cooperation Forum) හි සමාරම්භක දේශනය පවත්වමිනි.

චීන ස්වාභාවික සම්පත් අමාත්‍යාංශයේ සාගර විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් සෙක්අන් වෙයි (Zexun Wei) මහතාගේ නිල ආරාධනයකට අනුව අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා මෙම සංසදයට සහභාගී විය.

චීනය, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, මාලදිවයින සහ පාකිස්ථානය යන රටවල රාජ්‍ය නිලධාරීන්, විශේෂඥයන් සහ විද්වතුන් 100කට අධික පිරිසකගේ සහයෝගීත්වයෙන් පැවති මෙම සංසදයේදී දේශගුණික විපර්යාස, සාගර පරිසර ආරක්ෂණය, සාගර ආපදා නිරීක්ෂණය සහ පූර්ව අනතුරු ඇඟවීම්, සාගර විද්‍යාව හා තාක්ෂණය, ආපදා අවදානම් අවම කිරීම සහ මානව සම්පත් සංවර්ධනය ඇතුළු ප්‍රධාන කරුණු පිළිබඳව අවධානය යොමු කෙරිණි.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා සමඟ අමාත්‍යාංශ ලේකම් ආචාර්ය බී.කේ. කෝලිත කමල් ජිනදාස මහතා, ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනයේ (NARA) සභාපති ආචාර්ය සනත් හෙට්ටිආරච්චි මහතා, අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය කේ.එච්.එම්.එල්. අමරලාල් මහතා සහ සාගර විද්‍යා අංශයේ ප්‍රධාන පර්යේෂක ආචාර්ය ඩබ්ලිව්.එන්.සී. ප්‍රියදර්ශනී මහත්මිය සහභාගී වූහ.

ලොව ප්‍රමුඛතම ධීවර සහ ජලජීවී නිෂ්පාදකයකු ලෙස චීනය සතු දීර්ඝකාලීන අත්දැකීම්, විද්‍යාත්මක හා තාක්ෂණික දියුණුව, ආයෝජන, ක්‍රමවත් සැලසුම්කරණය සහ ක්ෂේත්‍රයට අදාළ ප්‍රතිපත්ති, ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියානු රටවලට වැදගත් ආදර්ශ මෙන්ම සහයෝගීතා අවස්ථා ද සපයන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකාවේ අනාගත ධීවර සංවර්ධනය යනු මත්ස්‍ය සම්පත් මත පවතින පීඩනය තවදුරටත් වැඩි කිරීම නොව, ධීවර කර්මාන්තයට අමතරව ජලජීවී වගාව, සාගර ආශ්‍රිත කර්මාන්ත, අගය එකතු කළ නිෂ්පාදන සහ නව තාක්ෂණයන් ප්‍රවර්ධනය කිරීම තුළින් නීල ආර්ථිකය ශක්තිමත් කිරීම බව අමාත්‍යවරයා අවධාරණය කළේය. එමෙන්ම, ශ්‍රී ලංකාව කලාපීය නොබැඳි පිළිවෙත ආරක්ෂා කරගනිමින්, ධීවර ක්ෂේත්‍රයේ සහ සාගර කටයුතුවල නිරත වන බව ද හෙතෙම සඳහන් කළේය.

තවද, සාගර සම්පත් තිරසාර ලෙස භාවිත කරමින් ඒවායේ ආර්ථික වටිනාකම ඉහළ නැංවීමටත්, වෙරළබඩ ජනතාවගේ ජීවනෝපායන් සහ රැකියා අවස්ථා පුළුල් කිරීමටත් පියවර ගත යුතු බව ඔහු සඳහන් කළේය. ඒ සඳහා නවීන ධීවර යටිතල පහසුකම්, විද්‍යාව හා තාක්ෂණය, ආයෝජන, නවෝත්පාදන, අගය එකතු කිරීම සහ කාර්යක්ෂම මානව සම්පත අත්‍යවශ්‍ය වන බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ඉන්දියන් සාගරයේ මධ්‍යගතව පිහිටා ඇති ශ්‍රී ලංකාවට, කලාපයේ ප්‍රධාන ධීවර, ජලජීවී වගා සහ සාගර ආර්ථික මධ්‍යස්ථානයක් ලෙස ඉදිරියට පැමිණීමට සැලකිය යුතු අවස්ථා පවතින බවත්, එම අවස්ථාවන්ගෙන් ප්‍රයෝජන ගනිමින් සාගර සම්පත් ආරක්ෂා කිරීම සහ ආර්ථික වර්ධනය සමබර කරගත් තිරසාර සංවර්ධන ප්‍රවේශයක් අනුගමනය කිරීම අවශ්‍ය බවත් අමාත්‍යවරයා පැවසීය.

දේශගුණික විපර්යාස, සාගර දූෂණය, සාගර සම්පත් ක්ෂය වීම සහ නීති විරෝධී, වාර්තා නොකළ හා නියාමනය නොකළ ධීවර කටයුතු (IUU Fishing) වැනි අභියෝග කිසිදු එක් රටක දේශසීමාවකට පමණක් සීමා නොවන බැවින්, කලාපීය රටවල් අතර ඒකාබද්ධ පර්යේෂණ, දත්ත හුවමාරුව, සාගර නිරීක්ෂණය, තාක්ෂණික දැනුම හුවමාරුව සහ ආපදා පූර්ව අනතුරු ඇඟවීමේ ක්‍රමවේද තවදුරටත් ශක්තිමත් කිරීම අත්‍යවශ්‍ය බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.

එමෙන්ම, චීනය සහ ශ්‍රී ලංකාව යන දෙරටම ධීවර කළමනාකරණ ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ සිදුකරමින් සිටින පසුබිමක, දෙරට අතර ප්‍රතිපත්ති, නීතිමය රාමු සහ තාක්ෂණික අත්දැකීම් හුවමාරු කරගැනීම ඉතා වැදගත් බව ද අමාත්‍යවරයා පැවසීය.

චීනයේ ධීවර නීතියේ (Fisheries Law) පුළුල් ප්‍රතිසංස්කරණයෙන් අනතුරුව නව නීතිමය විධිවිධාන 2026 මැයි 1 වැනිදා සිට ක්‍රියාත්මක වන අතර, ශ්‍රී ලංකාවේ ද 1996 අංක 2 දරන ධීවර හා ජලජ සම්පත් පනත වෙනුවට නව ධීවර පනතක් සකස් කිරීමේ කටයුතු සිදුකරමින් පවතින බව හෙතෙම සඳහන් කළේය.

ශ්‍රී ලංකාවට චීනයෙන් ලබාදෙන පුහුණු වැඩසටහන්, තාක්ෂණික සහයෝගීතාව, දැනුම හුවමාරුව, ජලජීවී වගා සංවර්ධනය සහ ධාරිතා වර්ධනය කිරීමේ සහය සම්බන්ධයෙන් චීනයට ස්තූතිය පළ කළ අමාත්‍යවරයා, ඉදිරියේදී මෙම සහයෝගීතාව නීල ආර්ථිකය, සාගර විද්‍යාව, නවීන ධීවර තාක්ෂණය, ජලජීවී වගාව සහ සාගර ආශ්‍රිත මානව සම්පත් සංවර්ධනය වැනි නව ක්ෂේත්‍ර වෙත ද ව්‍යාප්ත කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන්නේය.

මීට අමතරව, සැප්තැම්බර් 17 වැනිදා ක්විංඩාඕහි පැවති “2026 ජාත්‍යන්තර සාගර සංවර්ධන සංසදයට” (2026 Global Ocean Development Forum) ද අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා සහභාගී විය.
තිරසාර සාගර ආර්ථික වර්ධනය, සාගර ආශ්‍රිත කර්මාන්ත, විද්‍යාත්මක හා තාක්ෂණික නවෝත්පාදන, කෘත්‍රිම බුද්ධිය (AI) පදනම් කරගත් නවෝත්පාදන, නීල මූල්‍යකරණය සහ ගෝලීය සාගර පාලනය ඇතුළු කරුණු මෙම සංසදයේදී ප්‍රධාන වශයෙන් සාකච්ඡාවට බඳුන් විය.

මෙම උත්සව අතරතුරදී “සාගරය අපව වෙන් නොකරන අතර එය අපව සම්බන්ධ කරයි” යන සංකල්පය ඉදිරිපත් කළ අමාත්‍යවරයා, සාගර සම්පත් ආරක්ෂා කරන අතරම සාගරය ජීවනෝපාය කරගත් ජනතාව සඳහා තිරසාර ආර්ථික අවස්ථා නිර්මාණය කිරීම අනාගත සාගර සහයෝගීතාවයේ ප්‍රධාන අරමුණක් විය යුතු බව අවධාරණය කළේය.

චීනය සහ දකුණු ආසියානු රටවල් අතර පැවති මෙම හමුවීම්, සාගර විද්‍යාව, තාක්ෂණය, ධීවර කර්මාන්තය, ජලජීවී වගාව, නීල ආර්ථිකය, සාගර පරිසර ආරක්ෂණය, ආපදා කළමනාකරණය සහ මානව සම්පත් සංවර්ධනය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක අනාගත ප්‍රායෝගික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා වැදගත් වේදිකාවක් බවට පත්විය.