ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අංශයන්හි ඉදිරි ප්‍රවර්ධනය වෙනුවෙන් කොරියානු රජයේ සහය දක්වන බව කොරියානු තානාපතිනි මියෝන් ලී සඳහන් කරයි.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ ශ්‍රී ලංකාවේ කොරියානු තානාපතිනි මියෝන් ලී (Miyon Lee) මහත්මිය අතර හමුවක් පසුගිය දා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවති අතර මෙරට
සෞඛ්‍ය සේවාවේ මෙන් ම ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ වත්මන් තත්ත්වය මෙන් ම මෙරට සෞඛ්‍ය හා ජනමාධ්‍ය ක්ෂේත්‍රයන්හි ඉදිරි සංවර්ධනය උදෙසා කොරියානු රජය දක්වන සහයෝගය සහ ප්‍රදානයන් පිළිබදව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන ලදි.
ශ්‍රී ලංකාවේ ඉතා සමීප මිත්‍ර රාජ්‍යයක් වන කොරියානු රජය මෙරට ව්‍යාපෘති සඳහා විශාල සහයෝගයක් ලබා දී ඇති බවත් KOICA සහ KOFIH යන කොරියානු ජාත්‍යන්තර සහයෝගීතා සංවිධාන හරහා මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයට ඉහළ දායකත්වයක් ලබා දී ඇති බවත් අමාත්‍යවරයා මෙහි දී සිහිපත් කළේ ය.
එම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී කොරියානු රජය සමඟ ගනුදෙනු කිරීම ඉතා පහසු හා කාර්යක්ෂම බව ද එ් නිසා මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයට වඩාත් ඉහළ ඵලදායි ප්‍රතිඵල ලබාගත හැකි බව ද ඉදිරියේ දී යෝජිත ව්‍යාපෘති සාර්ථක කරගැනීමට ද ඒ අනුව හැකිවනු ඇතැයි අමාත්‍යවරයා මෙහි දී පැවසී ය.
එමෙන් ම ශ්‍රී ලංකාවට අවශ්‍ය වෛද්‍ය උපකරණ ලබා ගැනීමේ දී කොරියානු රජයෙන් සහයෝගය අපේක්ෂා කරන බවත්, මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයට අඩුපාඩුවක් ව පවතින ඖෂධ තත්ත්ව නිරීක්ෂණ රසායනාගාරයක් ඉදි කිරීමේ අවශ්‍යතාවය දැඩි ව පවතින බව ද අමාත්‍යවරයා සිහිපත් කළේ ය.
එමෙන් ම මෙරට ජනමාධ්‍ය ක්ෂේත්‍රය සංවර්ධනය සදහා කොරියානු රජයේ තාක්ෂණික සහයෝගය ද අමාත්‍යවරයා අපේක්ෂා කර සිටියේ ය.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ ඉල්ලීමට සාධනීය ලෙස ප්‍රතිචාර දැක් වු ශ්‍රී ලංකාවේ කොරියානු තානාපතිනි මියෝන් ලී (Miyon Lee) මහත්මිය මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය සඳහා කොරියානු රජය ලබා දුන් දායකත්වය මෙන් ම ඉදිරියේ දී ලබාදීමට අපේක්ෂිත සහයෝගය පිළිබඳ ව ඉතා පැහැදීමකින් යුතුව අදහස් දැක්වීය.
මෙරට කොරියානු රජයේ KOFIH ආයතනයේ දායකත්වයෙන් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ජීව වෛද්‍ය ඉංජිනේරු සේවාව නඟා සිටුවීමේ ව්‍යාපෘතිය ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ක්‍රියාත්මක කිරීමට නියමිත ව්‍යාපෘති සහ වැඩසටහන් පිළිබඳව එතුමිය අමාත්‍යවරයා ට කරුණු පෙන්වා දුන්නා ය.
KOICA ආයතනය මෙරට විවිධ ක්ෂේත්‍රවල සංවර්ධන කටයුතුවලට ආධාර ලබා දෙන අතර KOFIH ආයතන සෞඛ්‍ය ක්ෂේත්‍රය සඳහා ම වෙන් වු ආයතනයකි.
පසුගිය වර්ෂය තුළ දී කොරියානු සංචාරකයින් දසදහසකට අධික පිරිසක් මෙරට සංචාරය කර ඇති බවත්, එලෙස සංචාරය කිරීමේ දී වීසා සඳහා අය කිරීමක් ඇති බැවින් කොරියානු සංචාරකයන් ඇතැම් විට වෙනත් රටවලට සංචාරය සඳහා යොමු වන බව ද තානාපතිවරිය විසින් මෙහි දී පෙන්වා දුන්නා ය.
මේ පිළිබඳව අවධානය යොමුකළ අමාත්‍යවරයා අදාළ අංශ සමඟ සාකච්ඡා කොට ගැටළුවට කඩිනම් විසඳුම් ලබා දෙන බව ද පැවසී ය.
මෙරට ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රගමනය සඳහා යෝජිත සැලසුම්වලට අවශ්‍ය සහයෝගය නිබඳව ලබා දෙන බව ද ඇය කීවා ය.
මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා, කොරියානු තානාපති කාර්යාලයේ නියෝජ්‍ය දුත මණ්ඩල ප්‍රධානි ෂොන්ගීයි ජන්ග් (Sohngyee Jung) මහත්මීය ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.