Saturday, July 05, 2025
Follow Us
වඳුරු උණ රෝගීන් තවත් ඉහළට

දිල්ලියේ කාන්තාවකටත් මන්කිපොක්ස් ආසාදනය වෙයි


ඉන්දියාවෙන් වාර්තා වන වඳුරු උණ (මන්කිපොක්ස්) රෝගීන් ගණන 9ක් දක්වා ඉහළ ගොස් ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි. ඒ දිල්ලියෙන් තවත් රෝගියකු වාර්තා වීමත් සමගය. අලුතින්ම හමුවී ඇති රෝගියා 31 හැවිරිදි කාන්තාවකි. ඇය මෑතක වෙනත් රටවල සංචාරය කර තිබූ කෙනෙකු ද යන්න සඳහන්ව නැත. මෙම කාන්තාව දිල්ලියෙන් වාර්තා වූ සිව්වැනි රෝගියායි. මේ වනවිට ඉන්දියාවෙන් හමු වී ඇති වඳුරු උණ රෝගීන් සියලු දෙනා වාර්තා වී ඇත්තේ දිල්ලියෙන් සහ කේරළයෙනි.

ඉහත කී කාන්තාව උණ තත්ත්වයෙන් පෙලෙන බවත්, ඇයගේ සිරුරේ බිබිලි මතුව ඇති බවත් ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කර තිබිණි. මේ වනවිට ඇය රෝහල් ගත කර ඇත. ඊයේත් දිල්ලියෙන් තවත් රෝගියකු වාර්තා වී තිබූ අතර ඔහු 35 හැවිරිදි විදේශිකයකු විය. ඔහු ද රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබිණි. වඳුරු උණ රෝගීන් සහ රෝගීන් යැයි සැක කෙරෙන පුද්ගලයන් වෙනුවෙන් විශේෂ වාට්ටු වෙන් කරන මෙන් දිල්ලි බලධාරීන් දිල්ලියේ රෝහල් තුනකට දැනුම් දී ඇත.

ගෝලීය වශයෙන් මේ වනවිට රටවල් සහ කලාප 87කින් වඳුරු උණ රෝගීන් 26,000ක් පමණ වාර්තා වී තිබේ. ආසියා පැසිෆික් කලාපයේ සිංගප්පූරුව, ඉන්දියාව, ඔස්ට්‍රේලියාව, ජපානය, නවසීලන්තය, පිලිපීනය, දකුණු කොරියාව, තායිවානය, තායිලන්තය යන රටවලින් සහ කලාපවලින් රෝගීන් වාර්තා වී ඇත. මේ අතරින් රෝගීන් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වන්නේ ඕස්ට්‍රේලියාවෙනි. අගෝස්තු 2 වැනි දින වනවිට එරටින් රෝගීන් 46 දෙනෙකු වාර්තා වී තිබිණි.

Aruna