Monday, May 13, 2024
Follow Us
රුසියාව යුක්රේනයේ කිව් අගනුවර අතහැර යන ලකුණු

රුසියානු හා යුක්රේන නියෝජිතයින් තුර්කියේදී පැවැත්වූ සාම සාකච්ඡාවල පළමු වටය අවසන් කර තිබෙනවා. ඉස්තාන්බූල් නුවර පැවැති එම සාකච්ඡා සැලකිය යුතු මට්ටමේ ප්‍රගතියක් පෙන්නුම් කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එම ඍජු සාකච්ඡා වටයේදී රුසියානු නියෝජිතයින් පවසා ඇත්තේ යුක්රේනයේ කිව් අගනුවර සහ චර්නිහිව් නගරය ආසන්නයේ සිදුකරන හමුදාමය ක්‍රියාකාරකම් අත්හිටුවීමට සූදානම් බවයි. මෙතෙක් පැවැති සාකච්ඡා අපේක්ෂිත සාර්ථකත්වයක් ලගා කර ගැනීමට අපොහොසත් වූ බැවින් තුර්කියේ පැවැති සාකච්ඡා සාර්ථක කර ගැනීම දෙපාර්ශවයේම අරමුණ වි තිබුණා.

එබැවින් අදාළ සාකච්ඡාවල විශ්වාසය තහවුරු කර ගැනීම සඳහා එම පියවර ගත් බවයි රුසියාවේ නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා පවසා ඇත්තේ.

මේ අතර රුසියාවේ ප්‍රතිචාරයට සාපේක්ෂව යුක්රේනය ද නම්‍යශීලී ප්‍රතිපත්තියකට එකග වී ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ. ඒ අනුව සිය රටේ ආරක්ෂාව සඳහා ජාත්‍යන්තර ගිවිසුමක් ක්‍රියාත්මක වන්නේ නම්, රුසියාවේ ප්‍රධාන ඉල්ලීම් වලින් එකක් වන මධ්‍යස්ථ ප්‍රතිපත්තියකට එකඟ වීමට සූදානම් බව යුක්රේනය ද පවසා තිබෙනවා.

(Neth)