Thursday, May 09, 2024
Follow Us
යුක්රේන වැසියන් දහස් ගණනක් බලහත්කාරයෙන් රැගෙන ගොස් ඇතැයි රුසියාවට චෝදනා

යුක්රේනයේ මරිපෝල් නගරය තුළ රුසියානු හමුදාව සහ යුක්රේන හමුදාව අතර මේවනවිට දරුණු ගැටුම් ක්‍රියාත්මකයි. රුසියානු හමුදාව විසින් මරිපෝල් නගරයේ ඉලක්ක වෙත දරුණු ගුවන් ප්‍රහාර එල්ල කරමින් සිටින බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

සිවිල් වැසියන් රැසක් නගරයෙන් පිටවීමට නොහැකිව ගැටුම්වලට මැදිව සිටින අතර ඔවුන් මේවනවිට නගරයේ පොදු ස්ථානවල රැඳී සිටිනවා. එලෙස සිවිල් වැසියන් 400 දෙනෙකු පමණ සැගව සිටි මරිපෝල් නගරයේ පාසැල් ගොඩනැගිල්ලක් වෙත ද රුසියානු හමුදාව අද ගුවන් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. ප්‍රහාරයෙන් එම ගොඩනැගිල්ල විනාශ වී ඇති බවයි වාර්තා වන්නේ. සුන්බුන් අතර සිරවී සිටින පිරිස් සොයා යුක්රේන හමුදාව සහ සහන කණ්ඩායම් අඛණ්ඩ මෙහෙයුමක නිරත වී සිටිනවා.

මරිපෝල් වරාය නගරය ඉලක්ක කර රුසියාව එල්ල කරන ප්‍රහාර සියවස් ගණනාවක් පුරා සිහිපත් කෙරෙනු ඇතැයි යුක්රේන ජනාධිපති ව්ලොඩිමීර් ස්ලෙනෙස්කි ප්‍රකාශ කළා. මරිපෝල් නගරය තුළ රුසියාව යුද අපරාධ සිදුකර ඇති බවටයි යුක්රේන ජනාධිපතිවරයා චෝදනා කළේ.

මේ අතර ඇතැම් නිල නොවන වාර්තා පෙන්වා දෙන්නේ රුසියානු හමුදාව විසින් මරිපෝල් නගරයේ සිටි සිවිල් වැසියන් දහස් ගණනක් රුසියානු නගරවලට රැගෙන ගොස් ඇති බවයි.

(Neth)