Tuesday, January 13, 2026
Follow Us
පෝලන්ත දේශසීමාව ආසන්නයට රුසියාවෙන් ගුවන් ප්‍රහාර

යුක්රේනයේ බටහිර ප්‍රදේශයේ නගරයක් වන ලිවීව් නගරය වෙත රුසියානු හමුදාව විසින් ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කර තිබෙනවා. විදෙස් වාර්තා පැවසුවේ ලිවීව් නගරයේ පිහිටි හමුදා පුහුණු කඳවුරක් ප්‍රහාරයේ ඉලක්කය වී ඇති බවයි. එහිදී රුසියානු පාර්ශවයෙන් මිසයිල ප්‍රහාර 30 ක් පමණ එල්ල කෙරුණු බවයි යුක්රේනය සඳහන් කළේ.

ප්‍රහාරවලින් පුද්ගලයින් 35 දෙනෙකු මියගොස් තවත් 134 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ප්‍රහාරය එල්ල වූ හමුදා කඳවුර වර්ග කිලෝ මීටර 390 ක් පුරා පැතිර පවතින අතර එහි පුද්ගලයින් 1790 දෙනෙකුට රැඳී සිටිය හැකියි. ඒ අනුව ප්‍රහාර එල්ල කෙරෙන අවස්ථාවේ අදාළ හමුදා කඳවුර තුළ කොපමණ පිරිසක් රඳවා සිටියේද යන්න මෙතෙක් අනාවරණ වී නැහැ.

එම හමුදා කඳවුර යුක්‍රේන හමුදාව සහ යුක්රේනයේ මිත්‍ර නේටෝ සාමාජික රටවල් විසින් හමුදා පුහුණු කටයුතු සඳහා යොදා ගන්නා බවයි වාර්තා වන්නේ. කෙසේවෙතත් එම හමුදා කඳවුර පිහිටි ලිවීව් නගරය පෝලන්ත දේශසීමාවට ද ආසන්න වනවා.

විදෙස් වාර්තාවන්ට අනුව ප්‍රහාර එල්ල වූ හමුදා කඳවුර සහ පෝලන්ත දේශසීමාව අතර ඇති සැතපුම් 12 ක්. පෝලන්තය නේටෝ සංවිධානයේ සාමාජිකත්වය දරණ රටක් ද වනවා. එබැවින් පෝලන්ත දේශසීමාව ආසන්නයට එල්ල වූ ප්‍රහාර සම්බන්ධයෙන් අමෙරිකාව හා නේටෝ සංවිධානය කෙසේ ප්‍රතිචාර දක්වයිද යන්න අවිනිශ්චිත බවයි ජාත්‍යන්තර විචාරකයින් පවසන්නේ

(Neth)