Monday, April 28, 2025
Follow Us
සම සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ වෘත්තීය ගැටලුවලට කඩිනම් විසඳුම්

සෞඛ්‍ය සේවාවේ අනෙකුත් වෘත්තීන්ට බලපෑමක් ඇතිනොවන අයුරින්  සම සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ  වෘත්තීය ගැටලුවලට කඩිනම් විසදුම් ලබා දීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා එකඟතාවය පළ කර තිබේ.

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ නියෝජිතයින් සමග පසුගිය දා සෞඛ්‍ය අමාත්‍යංශයේ  පැවති සාකච්ඡාවේදී.

අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කර තිබේ. 

මෙරට නීරෝගී, සෞඛ්‍ය සම්පන්න ජනතාවක් බිහිකිරීම ප්‍රමුඛ අරමුණ කරගනිමින් සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරනු ලබන සුව සත්කාර කාර්යයේ දී පරිපූරක වෛද්‍ය සේවාවේ නියුතු සෞඛ්‍ය කාර්ය මණ්ඩලය විසින් අතිවිශිෂ්ට කාර්යභාරයක් ඉටු කරන බව  ද අමාත්‍යවරයා මෙහිදී  පැවසී ය.

සම සෞඛ්‍ය උපාධිධාරීන් බඳවා ගැනීම, පරිපූරක වෛද්‍ය සේවාවේ සිටින සම සෞඛ්‍ය උපාධිධාරීන් සදහා සුදුසු වැටුප් තලයක් ලබා ගැනීම, සම සෞඛ්‍ය උපාධිධාරීන්ගේ “ අනුස්තාපන සමායෝජන” යන පුහුණුවේ නාමය සීමාවාසික පුහුණුව ලෙස වෙනස් කිරීම, පරිපූරක වෛද්‍ය සේවා වලට අදාළ සේවා ව්‍යවස්ථා නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය වන කටයුතු ආරම්භ කිරීම, පලමු ශ්‍රේණියේ සිට අධි ශ්‍රේණියට උසස්වීම් ලබා ගැනීම සදහා සම්පූර්ණ කළයුතු යෝජිත කළමණාකරණ පුහුණුව පිළිබදව, පරිපූරක වෛද්‍ය සේවාවේ විශේෂ ශ්‍රේණි  ලබා දීම කඩිනම් කිරීම, ඇමතුම් රාජකාරී දීමනාව යාවත්  කාලීන කිරීම යන ගැටලු ප්‍රමුඛ කරගනිමින් තවත් ගැටලු රාශියක් මෙහි දී සාකච්ඡාවට භාජනය විය. 

සෞඛ්‍ය සේවාවේ අනෙකුත් වෘත්තීන්ට බලපෑමක් ඇතිනොවන අයුරින් මෙම ඉල්ලීම් සියල්ල  ඉටුකිරීමට කටයුතු කරන බව පැවසූ සෞඛ්‍ය  අමාත්‍යවරයා   සමස්ත සෞඛ්‍ය සේවාවේ සිය වෘත්තීය රාජකාරි ඉටු කරනු ලබන වෘත්තිකයින්ට බලපාන වෘත්තිය ගැටලුවලට කඩිනම් විසඳුම් ලබාදීමෙන් ඔවුන්ගෙන් කාර්යක්ෂම, ගුණාත්මක සේවාවක් ලබා ගැනීමට හැකියාව ලැබෙන බව ද මෙහි දි අවධාරණය කර සිටියේ ය. 

සමස්ත ලංකා වෛද්‍ය රසායනාගාර විද්‍යාඥයින්ගේ සංගමය, සමස්ත ලංකා රජයේ ඖෂධවේදීන්ගේ සංගමය, රජයේ වෘත්තීය චිකිත්සක සංගමය, රජයේ භෞත චිකිත්සක නිලධාරීන්ගේ සංගමය, සමස්ත ලංකා රජයේ විකිරණ තාක්ෂණවේදීන්ගේ සංගමය යන වෘත්තීය සංගම් සම සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය නියෝජනය කරනු ලබයි.