Friday, May 17, 2024
Follow Us
ලක්ෂයකට සීමා වූ උපයන විට ගෙවීම් බද්ද ලක්ෂ 2 1/2ක් වෙයි

මෙතෙක් කළක් මාසයකට රුපියල් ලක්ෂයකට වඩා වැඩි මාසික ආදායමක් ලැබූ අය‍ ගෙවූ උපයන විට ගෙවීම් බද්ද ජනවාරියේ සිට ගෙවිය යුත්තේ ලක්ෂ 2 1/2කට වැඩි මාසික ආදායමක් ලබන අය පමණි

මෙතෙක් කළක් මාසයකට රුපියල් ලක්ෂයකට වඩා මාසික වැටුප් ආදායමක් ඉපැයූ අයට බදු ගෙවීමට සිදු වූවත් මේ වසරේ ජනවාරි මාසයේ සිට උපයන විට ගෙවීම් බදු ගෙවිය යුත්තේ මාසයට රු. ලක්ෂ 2 1/2කට වැඩි ආදායමක් ලබන පිරිස පමණක් බව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් නඳුන් ගුරුගේ මහතා ප්‍රකාශ කළේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය හා මුදල් ඇමැති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ඉකුත් නොවැම්බර් 27වැනි දා ප්‍රකාශයට පත් කළ බදු සහන යටතේ මේ සහනය ‍ලබන වසරේ ජනවාරි මාසයේ සිට රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවකයන්ට හිමි වන බවද නඳුන් ගුරු‍ගේ මහතා කීය.

රු. ලක්ෂ 2 1/2කට ඉහළ ආදායමක් ලබන අය පවා ගෙවිය යුත්තේ අවමය 6%ක හා උපරිමය 18%ක බදු ප්‍රතිශතයක් බව පැහැදිලි කළ නඳුන් ගුරුගේ මහතා ‍මීට පෙර උපරිම බදු ප්‍රතිශතය 24%ක් වැනි ඉහළ මට්ටමක පැවති බවද කියා සිටියේය. ඒ අනුව රු. ලක්ෂ 2 1/2කට වඩා වැඩි ආදායමක් ලබන පිරිස් 6%ක, ඊට වැඩි රු. ලක්ෂයක් සඳහා 12%ක සහ ඊට ඉහළ ආදායම් සඳහා 18%ක උපරිමයකට යටත්ව මේ බද්ද ගෙවිය යුතුය.

මේ ආකාරයට රජයට උපයන විට ගෙවීම් බදු යටතේ ආදායම් බදු ගෙවූ ‍බොහෝ පිරිසකට විශාල සහනයක් මේ බදු අඩු කිරීම තුළින් හිමි වේ. එපමණක් නොව ස්ව කැමැත්තෙන්ම අඩු බදු ප්‍රතිශතයක් යටතේ බදු ගෙවීමට රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවකයෝ පෙළඹවීමක් සිදුවේ.

මේ නිසා රටේ ආර්ථිකයට සිදුවන යහපත වනුයේ බදු ගෙවන්නන් මත බදු නොගෙවීම නිසා ඉතිරි වන මුදල් පරිභෝජනය වියදම් ලෙස හෝ ආයෝජන ලෙස හෝ සිදු කිරීම නිසා ආර්ථිකයේ සංසරණය වන මුදල් ප්‍රමාණය වැඩි වී ආර්ථිකය බලගැන්වීමක් සිදුවීම බවද කොමසාරිස් ජනරාල්වරයා පැහැදිලි කළේය.

(Dinamina)