Monday, August 31, 2026
Follow Us
ශ්රී ලංකාවේ අභිමානවත් මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය ජාත්යන්තර වෙළඳපොළ ජයගන්නා නව යුගයක ආරම්භය සනිටුහන් කරමින්, “Gem City Ratnapura 2026” අන්තර්ජාතික මැණික් ප්රදර්ශනය අද(31) පැල්මඩුල්ල, Grand Silver Ray සංකීර්ණයේදී උත්කර්ෂවත් ලෙස ආරම්භ විය.
ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය (NGJA) සහ ලංකා මැණික් වෙළෙඳුන්ගේ සහ පතල්කරුවන්ගේ සංගමය (LGDMA) එක්ව අඛණ්ඩව 03 වන වරටත් සංවිධානය කරන ලද මෙම ප්රදර්ශනය සඳහා ඇමරිකාව, චීනය, ජපානය, තායිලන්තය, ඉන්දියාව, ස්පාඤ්ඤය ඇතුළු රටවල් රැසක ජාත්යන්තර ආයෝජකයින් සහ විදේශීය ගැණුම්කරුවන් විශාල පිරිසක් එක්ව සිටියහ.
​මෙහිදී අදහස් දැක්වූ කර්මාන්ත සහ ව්යවසායකත්ව සංවර්ධන අමාත්ය සුනිල් හඳුන්නෙත්ති මහතා අවධාරණය කළේ, රත්නපුරය දේශීය මැණික් සඳහා පමණක් නොව විදේශයන්ගෙන් ගෙනෙන මැණික් පවා අගය එකතු කර ලෝකයට යවන ප්රධානතම ගෝලීය කේන්ද්රස්ථානය බවට පත්කිරීම ජාතික ජන බලවේග රජයේ පැහැදිලි දැක්ම බවයි. මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්රයේ අගය එකතු කළ නිෂ්පාදන හරහා වසරකට ඇමෙරිකානු ඩොලර් බිලියන 02 ක අපනයන ආදායමක් රටට ලබාගැනීමට රජය අපේක්ෂා කරන බව සඳහන් කළ අමාත්යවරයා, පරිසර සුරක්ෂිතතාව, කර්මාන්තය තුළ කාන්තා නියෝජනය සහ බලගැන්වීම, ළමා ශ්රමය සම්පූර්ණයෙන්ම තුරන් කිරීම, විනිවිදභාවය සහ උසස් තත්ත්වයේ අගය එකතු කිරීම් මගින් ශ්රී ලාංකේය මැණික් සඳහා ජාත්යන්තර වෙළඳපොළ තුළ ඇති තරගකාරීත්වය තවදුරටත් ඉහළ නංවන බව ප්රකාශ කළේය.
​එමෙන්ම මෙහිදී ප්රධාන දේශනය පැවැත්වූ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්ය විජිත හේරත් මහතා කියා සිටියේ විදේශයන්හි පිහිටි ශ්රී ලංකා තානාපති කාර්යාල හරහා ශ්රී ලාංකේය “Sapphire” සහ අනෙකුත් මැණික් වර්ග සඳහා ජාත්යන්තර වෙළඳපොළ පුළුල් කිරීමට රජය පියවර ගන්නා බවයි. තවද දේශීය ශ්රමිකයින්ට ජාත්යන්තර රැකියා අවස්ථා උදාකිරීම සහ මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්රය සංචාරක ව්යාපාරය හා බද්ධ කරමින් විදේශ ආයෝජන රට තුළට ගෙන ඒමට කටයුතු කරන බවද අමාත්යවරයා වැඩිදුරටත් පැහැදිලි කළේය.
​කුඩා හා මධ්ය පරිමාණ ව්යවසායකයින්ට ජාත්යන්තර වෙළඳපොළට සෘජුව ප්රවේශ වීමේ අවස්ථාව ලබාදෙන මෙම උළෙල සඳහා සබරගමුව පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න මහත්මිය, පාර්ලිමේන්තු මන්ත්රීවරුන්, ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති මහාචාර්ය එස්. පී. චමින්ද මහතා ඇතුළු රාජ්ය නිලධාරීන් සහ දේශීය, විදේශීය ව්යවසායකයින් විශාල පිරිසක් සහභාගී වූහ.
දින 03 ක් පුරා පැවැත්වෙන මෙම ප්රදර්ශනය මගින් දේශීය මැණික් කර්මාන්තයට නව පණක් ලැබෙන අතර ජාතික ආර්ථිකය ගොඩනැගීමේ රජයේ වැඩපිළිවෙළටද එය විශාල ශක්තියක් වනු ඇත.