"ශ්‍රී ලංකා EXPO - 2027 ප්රදර්ශනය" 2027 ජනවාරි 14,15,16 හා 17 යන දිනයන්හි දී කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්යන්තර සම්මන්ත්රණ ශාලාවේ දී පැවැත්වීමට සියලු කටයුතු සුදානම් බව කර්මාන්ත සහ ව්යවසායකත්ව සංවර්ධන අමාත්ය සුනිල් හදුන්නෙත්ති මහතා පවසයි.
අමාත්යවරයා මේ බව ප්රකාශ කරනු ලැබුවේ "ශ්රී ලංකා EXPO - 2027 ප්රදර්ශනය" සම්බන්ධයෙන් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්ය ආයතන ප්රධානීන් දැනුවත් කිරීමේ සාකච්ඡාවකට අද (21) සහභාගී වෙමිනි.
නවෝත්පාදන නිෂ්පාදන හා සේවාවන් ප්රදර්ශනය කිරීම, විවිධ ක්ෂේත්ර හරහා ආයෝජන අවස්ථා ප්රවර්ධනය කිරීම සහ ගෝලීය හවුල්කාරීත්වයන් ශක්තිමත් කිරීම අරමුණු කර ගනිමින් වසර 15කට පමණ පසුව මෙම ජාත්යන්තර ප්රදර්ශනය පැවැත්වීමට සැලසුම් කර ඇත.
ප්රදර්ශනය සඳහා විදේශීය ආයෝජකයින් / ගැණුම්කරුවන් 1500ක් සහ ප්රදර්ශකයන් 750ක් පමණ සහභාගී වීමට නියමිතය.
මෙම සාකච්ඡාව සඳහා කර්මාන්ත සහ ව්යවසායකත්ව සංවර්ධන අමාත්යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය, ශ්රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතා සහ රජයේ හා පෞද්ගලික මාධ්ය ආයතන ප්රධානීහු ඇතුළු පිරිසක් සහභාගී වූහ.