Friday, November 22, 2024
Follow Us
යහපාලනය ඇතුළේ සංහිදියාව පුහු වූයේ ඇයි?

ඉස්ලාමීය අන්තවාදීන් විසින් මෑතක දී එල්ල කරන ලද ත්‍රස්තවාදී ප්‍රහාර මාලාව ගෝලීය සංසිද්ධි ජාලයක ප්‍රතිඵලයක් වුව ද, දේශීය වශයෙන් මුස්ලිම් හා වෙනත් ප්‍රජාවන් අතර පැවති යහපත් සම්බන්ධතාවන්ට එමගින් සැලකිය යුතු අහිතකර බලපෑමක් එල්ල වී තිබේ. එම ව්‍යසනය රටේ ජාතික සංහිඳියාව සාක්ෂාත් කර ගැනීම වඩාත් අභියෝගාත්මක අභිප්‍රායක් බවට පත්කළ බව ද අමුතුවෙන් කිව යුතු නොවේ. මෙහි අනිටු ප්‍රතිඵලය ලෙස ප්‍රජාවන් අතර භීතිය හා අවිශ්වාසය වැඩි වී ඇති අතර, එය එම ප්‍රජාවන් තවදුරටත් බෙදා වෙන්කිරීමට හේතු වී තිබේ.

ජනකොටස් අතර ගැටුම් ඇති නොවන අයුරින් සංහිඳියාව සාක්ෂාත් කර ගැනීමට පාලන රජය සිය සංහිඳියා වාගාලාප මධ්‍යයේ අසමත් වූයේ ඇයි දැයි සොයා බැලීම වැදගත් වේ. ‘යහපාලන’ ආණ්ඩුව බලයට පත්වීම සඳහා සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළින් ජනතාව ඉදිරියේ තැබූ වැඩසටහන මගින් ඔවුන් සංහිඳියාව අවබෝධ කරගෙන තිබූ ආකාරය හා ඔවුන් ඊට ප්‍රවේශ වූ ආකාරය ගැඹුරින් සලකා බැලීමෙන් මෙය අවබෝධ කරගත හැකිවනු ඇත.

‘යහපාලන’ වැඩසටහන යටතේ ‘සංහිඳියාව’ සංකල්පගත කිරීම

රට තුළ ‘යහපාලන’ කතිකාවක් ඇතිවීම සඳහා බෙහෙවින් බලපෑ කතාබහට ලක් වූ තේමාවක් වූයේ ‘සංහිඳියාව’යි. ‘යහපාලන’ කතිකාව තුළ මෙම තේමාව වැදගත් අංගයක්ව පැවතිය ද, ‘යහපාලන’ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ දී මෙම දේශපාලන කතිකාව ක්‍රියාත්මක කළ හැකි ක්‍රියා මාර්ගයක් ලෙස සංයුක්ත අංගයක් බවට පත් නොවී ය. දක්නට තිබෙන ආකාරයට , ‘යහපාලන’ වැඩ සැලැස්ම තුළ එම තේමාවට ලැබුණේ සාපේක්ෂ වශයෙන් අඩු වැදගත්කමකි. දින 100 වැඩසටහන සහ, ‘මෛත්‍රී පාලනයක්: ස්ථාවර රටක්’ නමැති ලියවිලිවලින් පවා ඒ බව මනාවට පැහැදිලි වෙයි.

මේ ආකාරයෙන් සංහිඳියාවට අදාළ අරමුණු, සැලැසුම් හා ක්‍රියාමාර්ග නිර්වචනය කිරීම හා විදහා දැක්වීමේදී සිදුවූ අඩුපාඩුව පිළිබඳ පැහැදිලි කිරීමට මෙහි දී කරුණු දෙකක් ඉදිරිපත් කළ හැකිය. පළමු වැන්න නම් යහපාලන පාර්ශ්වකරුවන් අතර එකිනෙකට වෙනස් අදහස් පැවතීම නිසා සංහිඳියාව පිළිබඳ සංකල්පික අවබෝධයක් හෝ සැලැස්මක් සම්බන්ධයෙන් පොදු එකඟතාවක් කරා ළඟා වීමට ඔවුන් අසමත් වීමයි. යහපාලන පාර්ශ්වකරුවන්ගේ සංහිඳියාව පිළිබඳ අදහස් හා ප්‍රවේශ, ඉඩම් නිදහස් කිරීමේ සිට උතුරේ හමුදාව ඉවත් කිරීම සහ යුද අපරාධ විමර්ශනය කිරීමේ සිට ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ දක්වා අතිශය පුළුල් පරාසයක් මත පැවතිනි.

උදාහරණයක් ලෙස යහපාලන වැඩසටහනේ ප්‍රධාන පාර්ශ්වකරුවන් දෙදෙනකු වූ ජාතික හෙළ උරුමය (JHU) සහ දෙමළ ජාතික සන්ධානය (TNA) අතර ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ පිළිබඳව පැවතියේ මුළුමනින්ම එකිනෙකට වෙනස් මත දෙකකි. දෙමළ ජාතික සන්ධානය ෆෙඩරල් රාජ්‍ය ව්‍යුහයක් ඉල්ලා අඛණ්ඩව බලපෑම් කළ බවත්, ජාතික හෙළ උරුමය, ශ්‍රී ලංකා රාජ්‍යයේ ඒකීය ව්‍යුහය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් දැඩි ස්ථාවරයක සිටිමින් කටයුතු කරන අතර සීමිත රාජ්‍ය ප්‍රතිසංස්කරණ පමණක් ලබා දීමට එකඟතාව පළකරන ස්ථාවරයක සිටිමින් කටයුතු කළ බවත් රහසක් නොවේ.

දෙවැන්න නම් ‘යහපාලන’ ව්‍යාපාරය හිතාමතාම දේශපාලන මැතිවරණ උපාය මාර්ගයක් ලෙස මෙරට සුළුතර ප්‍රජාවන්, විශේෂයෙන්ම දෙමළ දේශපාලන බලවේගය තමන් සතු කර ගැනීමත් සිංහල ඡන්දදායකයන් සතුටු කිරීමට ඇති අවශ්‍යතාවය නිසා බොහෝ දේ නොපැහැදිලි ආකාරයෙන් පවත්වාගෙන යාමද, සංහිඳියාව යන තේමාව ව්‍යාකූල හා අපැහැදිලි තත්ත්වයක පවත්වා ගනිමින් එම වචනය ආශ්‍රිත තර්ක විතර්ක කෙරෙහි අවධානය යොමු කිරීමෙන් වැළකී සිටීමත්ය.

ද්විතීයික කාරණා සම්බන්ධයෙන් විවිධ මත ගැටුම් පැවතිය ද, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ තනි වේදිකාවක් මතට විවිධ කණ්ඩායම් ඒකරාශී කිරීමෙහි ලා ගත්කළ ‘යහපාලන’ ව්‍යාපාරය යම් සාර්ථකත්වයක් අත්කර ගත්තේය. එහෙත්, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යටි අරමුණව පැවතියේ, මහින්ද රාජපක්ෂ ආපසු බලයට ඒම වැළැක්වීමේ අභිලාෂය බව අමුතුවෙන් කිව යුතු නොවේ.

අනෙක් කරුණ වන්නේ පොදු අපේක්ෂකයා ‘යහපාලන’ වැඩසටහනේ අරමුණු කෙරෙහි දක්වන දෘෂ්ටිවාදාත්මක පක්ෂපාතිත්වය හා කැපවීම පිළිබඳ ගැටලුවයි. පොදු අපේක්ෂකයා තෝරා ගැනුණේ හිටපු ජනාධිපතිවරයා පරාජය කිරීමේ අවශ්‍යතාව පමණක් පදනම් කරගෙන මිස, තෝරාගත් යහපාලන වැඩපිළිවෙළට ඇති කැපවීම පදනම් කරගෙන නොවේ. වසර කිහිපයකට පසුව එම පොදු අපේක්ෂකයා විසින්ම සිදුකරනු ලබන විවිධ ප්‍රකාශ මගින් ‘යහපාලන’ වැඩසටහනේ අරමුණුවලට කැප වී සිටියේ ද යන සැකය අප තුළ ඇති කරයි.

මේ හේතූන් මත ‘සංහිඳියාව’ යන වචනය සංකල්පගත කරන ලද්දේ ඉතාමත් නොපැහැදිලි හා ලිහිල් ආකාරයෙනි. විවිධ පාර්ශ්ව විරසක කරගන්නවා හැරෙන්නට විවිධ අදහස් එකමුතු කිරීමට කිසිදු පරිශ්‍රමයක් යහපාලන ව්‍යාපාරය තුළ ගත් බවක් දක්නට නොලැබේ. එමනිසා, ආරම්භයේ සිටම ‘යහපාලන’ ව්‍යාපාරය අභ්‍යන්තර ප්‍රතිවිරෝධයන්ගෙන් පිරි එකක් වීය. සංකල්පගත කිරීමේ දී හා සැලසුම්ගත කිරීමේ දී සිදු වූ මෙම පැහැරහැරීම නොසලකා හැරිය නොහැකිය. විශේෂයෙන්ම, බැහැරින් ආනයනය කරන ලද විවිධ අර්ථ නිරූපණයන්ට දොරටු විවර කරමින්, සංහිඳියාව ආශ්‍රිත ජාතික න්‍යාය පත්‍රය එම අදහස් ඔස්සේ නිර්වචනය කිරීමට ඉඩ සලසා දෙමින් පුළුල් රික්තකයක් පමණක් නිර්මාණය කළ බව මගේ තර්කයයි. ‘යහපාලනය’ ක්‍රියාත්මක කිරීමේ දී ද පැන නැගුණු පුළුල් ව්‍යාකූලතාවට තුඩු දුන්නේ මෙම තත්ත්වයයි.

ජිනීවා විසඳුම

‘සංහිඳියාව’ යනු විවිධාකාරයෙන් අර්ථ නිරූපණය කළ හැකි හා ප්‍රකාශයට පත් කළ හැකි හිස් ශබ්දයකි. මෙය ශ්‍රී ලාංකික සන්දර්භයට අලුත් වචනයක් වන බැවින්, නිර්වචනය කිරීම සහ එහි අරුත නිරූපණය කිරීමට අවශ්‍යතාවක් තිබුණි. ආරම්භයේ සිටම ‘යහපාලන’ වැඩසටහන තුළ එහි තේමාව සම්බන්ධයෙන් සංකල්පික පැහැදිලිකමක් නොතිබිණි. පරිණත ජාතික නිර්වචනයක්, අවධානයක් සහ ක්‍රියාත්මක කළ හැකි වැඩපිළිවෙළක් නොපැවතීම නිසා ඇතිවුණ හිස්තැන හේතුකොටගෙන ප්‍රධාන වශයෙන් 2015 ඔක්තෝබරයේ දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය (UNHCR) විසින් සම්මත කරන ලද අංක 30/1 දරන UNHCR යෝජනාවෙන් ඉදිරිපත් වන ආයතනික රාමුවක් තුළ ‘සංහිඳියාව’ සංකල්පගත කිරීමක් සිදු වූ බව පෙනේ.

සත්‍යය, යුක්තිය, හානිපූර්ණය සහ නැවත ඇති නොවීම යන ප්‍රධාන පදනම් හතර මත රාමුවක් හරහා අදාළ ආයතන සැලසුම් කළ යුතු යැයි මෙයින් යෝජනා විය. ඒ අනුව, සංකල්පගත කිරීමේ කර්තව්‍යය පැවරුණු ක්‍රියාකාරී කණ්ඩායමක් විසින් අංක 30/1 දරන UNHCR යෝජනාව යටතේ එම රාමු ඔස්සේ රජය විසින් පිහිටුවීමට භාර ගන්නා ලද අතුරුදන් වූවන්ගේ කාර්යාලය, හානිපූර්ණ කාර්යාලය, සත්‍යය හා සංහිඳියාව පිළිබඳ යාන්ත්‍රණය සහ වගවීමේ යාන්ත්‍රණය යන ආයතන හතර සංකල්පගත කොට නිර්මාණය කිරීමට යෙදිනි. මෙහිදී ක්‍රියාකාරී කණ්ඩායමේ සාමාජිකයන්ගේ හැකියාව හා පරිපූර්ණත්වය පිළිබඳ විවේචනයක් එල්ල නොකරමිි. නමුත් මෙම ක්‍රියාකාරී කණ්ඩායම පුළුල් ශ්‍රී ලාංකික සමාජයේ විවිධත්වය හා සංකීර්ණ පැතිකඩ නියෝජනය කරයි දෝ යන සැකය මතුව තිබේ.

මෙම රාමුව පදනම් කර ගෙන සංහිඳියා කතිකාව හා න්‍යාය පත්‍රය සකස් කිරීමේ දී මෙම රාමුවෙන් පරිබාහිර විකල්ප අදහස් හා ප්‍රවේශයන් සැලකිල්ලට ගෙන නොමැති බවත්, අදහස් උත්පාදනය කරන ලද්දේ ජිනීවා ක්‍රියාවලීන්ට සම්බන්ධ පාර්ශ්වකරුවන් කිහිපදෙනකු විසින් බවත්, තාක්ෂණික කණ්ඩායම් එක සමාන දේශපාලන හා දෘෂ්ටිවාදාත්මක පසුබිම්වලට අයත් බවත් විචාරකයන් විසින් පවසනු ලැබීය. ප්‍රධාන වශයෙන් සැලකිලිමත් වූ කාරණා කිහිපයක් දක්වතොත්, එවැනි රාමුවක පවත්නා සීමාසහිත ස්වභාවය, දේශීය සන්දර්භයට ඇති යෝග්‍යතාවල එහි පවත්නා තිරසරභාවය සහ ජාතික න්‍යාය පත්‍රයක් නිර්වචනය කිරීම සඳහා එය ප්‍රමාණවත් ලෙස දේශීය සන්දර්භය නියෝජනය කරන්නේ ද යන ගැටලුව දැක්විය හැකිය. සංකල්පගත කිරීම සිදු කරන ලද්දේ එක හා සමාන අදහස් පදනම් කරගෙන බවටත්, පූර්ව ක්‍රියාවලීන් සමග විශේෂයෙන්ම උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කමිටු ක්‍රියාවලිය (LLRC) සමග කිසිදු සම්බන්ධයක් හෝ ඒවායේ අඛණ්ඩතාවක් දැකිය නොහැකි බවටත් විචාරකයන් චෝදනා එල්ලකර තිබේ.

සංකල්පගත කිරීමට පෙර ක්‍රියාත්මක කරන ලද මහජන මත විමසීමේ ක්‍රියාවලිය ද ප්‍රතිඵල අරමුණු කරගත් සහ කල්තියා තීරණය කළ ප්‍රතිඵල පදනම් කරගනිමින් සිදුකළ එකක් බවත්, ක්‍රියාත්මක කරන ලද්දේ දෙන ලද රාමුවක් මත පිහිටා බවත්, එය එම රාමුවට සීමා වූ හා එම රාමුව විසින් සීමා කෙරුණු බවත් දක්නට ලැබිණි. සාමාන්‍යයෙන් රාමු මත පදනම් කරගෙන කෙරුණු සාකච්ඡා අපේක්ෂිත ප්‍රතිඵලයන් උදෙසා හැඩ ගැස්වීමේ ප්‍රවණතාවක් තිබේ.

මීට අමතරව අතුරුදන්වූවන්ගේ කාර්යාලය (OMP) පිළිබඳ පනත පාර්ලිමේන්තුවේ දී සම්මත කරගත් ආකාරය සම්බන්ධයෙන් ද බොහෝ දෙනාගේ විමතිය පළ වීය. අතුරුදන්වූවන්ගේ කාර්යාලය පිහිටුවන ලද්දේ “අතුරුදන් වූවන් සෙවීම සඳහා සහ අතුරුදන්වීමේ වාතාවරණය හා ඔවුන්ගේ ඉරණම එම පුද්ගලයන්ගේ ඥාතීන්ට දැනුම් දීමේ” පුළුල් අරමුණ ඇතිවය. අතුරුදන් වූවන්ගේ පවුල්වල දුක් ගැනවිලි සලකා බැලීම සඳහා එවැනි ආයතනයක් පිහිටුවීම සංහිඳියා ක්‍රියාවලිය සම්බන්ධයෙන් ජාතික වශයෙන් බලය පවරන ලද මහජන මත විමසීමේ ක්‍රියාවලියක එනම්, සංහිඳියා යාන්ත්‍රණයන් පිළිබඳ මහජන මත විමසීමේ බළකායෙහි - CTF) ප්‍රතිඵලයක් විය යුතුව තිබුණි.

නමුත්, එම CTF ක්‍රියාවලිය අවසන් වීමට පෙර අතුරුදන් වූවන්ගේ කාර්යාලය පිහිටුවීමේ නීති කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සම්මත කරගැනීම සම්බන්ධයෙන් බොහෝ විවේචන පවතී. එම නිසා, අතුරුදන් වූවන්ගේ කාර්යාලය පිහිටුවීමට තුඩු දුන් ක්‍රියාවලිය දේශීය අවශ්‍යතාවන් මත පදනම් වූයේ ද නැතිනම්, කිහිප දෙනකු විසින් කල් ඇතිව තීරණය කරගත් අදහසක් නීත්‍යනුකූල කිරීමට පමණක් මහජන මත විමසුමක් සිදු කරන ලද්දේ ද යන්න සම්බන්ධයෙන් සැක සංකා මතුව තිබේ. බොහෝ දෙනා පවසන්නේ මහජන මත විමසුම් ක්‍රියාවලිය අවසන් වීමට පෙර අතුරුදන් වූවන්ගේ නීති කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනුනේ 2016 සැප්තැම්බරයේ ජිනීවා සැසිවාරයට මුහුණ දීමට සූදානමක් ලෙස බවය.

ජාතික සංහිඳියාව සාක්ෂාත් කර ගැනීම සඳහා නිර්මාණය කරන ලද විවිධ ආයතන සහ සංහිඳියා න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳ ලබන සතියේ විමසා බලමු.

(Aruna)