Wednesday, November 12, 2025
Follow Us
ආහාර ප්‍රවර්ධන මණ්ඩලයෙන් මුං ඇට මිලදී ගැනීමට ක්‍රමවේදයක්

මෙවර මුං ඇට අස්වැන්න අපේක්ෂිත අස්වැන්න ඉක්මවා ගොස් ඇත.‍ ගොවීන් අපේක්ෂා කර ඇත්තේ අක්කරයකට කිලෝග්‍රෑම් 250ක් 300ක් පමණ වුවත් මෙවර මුං ඇට අස්වැන්න අක්කරයකට කිලෝග්‍රෑම් 350ක් 400ක් පමණ ලබා ගැනීමට හැකි වී ඇත. හම්බන්තොට දිස්ත්‍රික්කයේ පමණක් මුං ඇට අස්වැන්න මෙට්‍රික් ටොන් 6500ක් 7000ක් පමණ වන බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය සඳහන් කරයි.

බොහෝවිට මුං ඇට අස්වැන්න නෙලීම සඳහා සම්බන්ධ වන්නේ කාන්තාවන්ය. මුං ඇට අස්වැන්න සරු වීමත් සමඟ එම ප්‍රදේශවල කාන්තාවන්ගේ අතමිට ද සරු වී තිබේ. සාමාන්‍යයෙන් මුං ඇට කිලෝග්‍රෑමයක් නෙලීම සඳහා කාන්තාවකට රුපියල් සියයක මුදලක් ලැබෙන අතර, දිනකදී කාන්තාවක් මුං ඇට කිලෝග්‍රෑම් 40ක් 50ක් පමණ නෙලීමට සමත් වෙයි. මේ හරහා කාන්තාවන්ට රැකියා අවස්ථාවන් උදා වී තිබේ.

මේ ආකාරයෙන්  ඉහළ මුං ඇට අස්වැන්නක් ඉදිරියටත් ලැබීමට හැකි නම් මුං ඇට ආනයනය සීමා කිරීමට හැකි වනු ඇත. මුං ඇට අස්වැන්න ඉහළ යාමත් සමඟ එය මිලදී ගැනීමේ ක්‍රමවේදයක් ද සකස් කළ යුතුව තිබේ. එහි එක් පියවරක් ලෙස ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය විසින් මුං ඇට මිලදී ගැනීමේ ක්‍රමවේදයක් සකස් කර ඇත. ඒ අනුව ඊයේ (11) දිනයේදී ද වීරවිල සහ ලුනම ප්‍රදේශවලදී මුං ඇට මෙට්‍රික් ටොන් 15ක් මිලදී ගනු ලැබීය.

මෙහිදී මුං ඇට පරිභෝජනය ඉහළ නැංවීම කෙරෙහි අවධානය යොමු කළ යුතුව ඇත. පරිප්පුවලට ආදේශක‍යක් වශයෙන් මුං ඇට යොදා ගැනීමේ හැකියාව වර්ධනය කළ යුතුය. මුං ඇට යනු රසවත් මෙන්ම පෝෂණ ගුණයෙන් අනූන ආහාරයකි. මුං ඇටවල පෝෂණ ගුණය පිළිබඳ සමාජය දැනුම්වත් කරමින් මුං ඇට පරිභෝජනය ප්‍රවර්ධනය කිරීම ඉහළ නැංවීමට කටයුතු කළ යුතුය.

මීට අමතරව මුං ඇට පියලි ලෙස වෙළඳපොළ තුළ සාධාරණ මිලකට ලබා ගැනීමට නොබෝ දිනකින් සතොස හරහා කටයුතු සිදු වෙමින් පවතින අතර, මේ දිනවල ඒ සඳහා සාකච්ඡා සිදු වෙමින් පවතී.