සාධාරණ මිල ගණන් යටතේ ජනතාවට පහසුවෙන් ඖෂධ ලබා ගැනීමට අවකාශය සලසමින් සෑම නගරයකම ඔසුසලක් ස්ථාපිත කිරීමට ක්‍රියාත්මක කර ඇති “ඔබේ නගරයටත් ඔසුසලක් ව්‍යාපෘතිය” සාර්ථක බව ජනමාධ්‍ය හා සෞඛ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
මෙරට පළමු හා පැරණිතම ඔසුසල වන කොළඹ 7 රාජ්‍ය ඔසුසලට වසර 51ක් පිරීම නිමිත්තෙන් පැවැති උත්සවයකට එක්වෙමින් ඇමැතිවරයා මේ බව කීවේය.
වර්තමානයේ තමන්ගේ නගරයටත් රාජ්‍ය ඔසුසලක් අවශ්‍ය බවට ජනතාව ඉල්ලා සිටින්නේ, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව වගකීමක් සහිත සාධාරණ මිල ගණන් යටතේ ගුණාත්මක බව සහතික කළ ඖෂධ සපයන එකම රාජ්‍ය ආයතනය බවට ජනතාව හඳුනාගෙන තිබීම නිසා යැයිද හෙතෙම කීවේය.
සෞඛ්‍ය අමාත්‍යාංශය ගැන ජනතා විශ්වාසය බහුල ලෙස පලුදු වූයේ ඖෂධ සැපයීමේ දුර්වලතා හේතුවෙන් බවත් ඒ වරද යළි ඇති නොවීමට සියලු පියවර ගෙන ඇති බවත් හෙතෙම පැවසීය. රාජ්‍ය ඔසුසල් නැති නගරවලට කඩිනමින් රාජ්‍ය ඔසුසල් ස්ථාපිත කීරීමට ද අවධානය යොමු කරන බව ඇමැතිවරයා සඳහන් කළේය.
“ඔබේ නගරයටත් ඔසුසලක් යන ව්‍යාපෘතිය” යටතේ උතුරු පළාත, නැඟෙනහිර පළාත ඇතුළුව අනෙකුත් පළාත්වලත් ඔසුසල් නැති දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගෙන රාජ්‍ය ඔසුසල් ස්ථාපිත කිරීමට අවශ්‍ය කඩිනම් සැලසුම් මේ වන විට සකස් කර ඇති බව ද ඇමැතිවරයා මෙහි දී පැවසීය.
එසේම පසුගිය දශක පහකට අධික කාලයේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මඟින් මෙරට දීප ව්‍යාප්තව රාජ්‍ය ඔසුසල් 64ක් ස්ථාපිත කිරීමට පියවර ගෙන ඇති බව ද, ඒ සියලු රාජ්‍ය ඔසුසල් මඟින් කාර්යක්ෂම, ගුණාත්මක අඛණ්ඩව සේවාවක් මෙරට ජනතාව වෙත ලබාදීමට කටයුතු කරන බව ද ඇමැතිවරයා පැවසීය.
කොළඹ 07, රාජ්‍ය ඔසුසල රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථා ඔසුසල් ජාලයේ ප්‍රධානතම ශාඛාව වන අතර එය පැය 24 පුරා ක්‍රියාත්මක වන අතර වැඩිම ඖෂධවේදීන් ප්‍රමාණයක් සේවය කරන එකම රාජ්‍ය ඔසුසල ද මෙය වේ.
එසේම වැඩිම ඖෂධ අලෙවියක් කරන්නේ ද මේ රාජ්‍ය ඔසුසලෙන් බව ද කොළඹ 07, රාජ්‍ය ඔසුසල් පරිශ්‍රයේ ස්ථාපිත කර ඇති නවීන රසායනාගාරය මඟින් සංස්ථාවේ ඖෂධ අදියර 4ක් යටතේ පරීක්ෂාවට ලක් කරන බව ද හෙතෙම පැවසීය. එනම් ටෙන්ඩර් නියැදි පරීක්ෂාව – නැව්ගත කිරීමට පෙර ලබාගත් නියැදි පරීක්ෂාව- බෙදා හැරීමට පෙර නියැදි පරීක්ෂාව සහ මහජනතාව වෙත බෙදා හැරීමෙන් පසු වෙළෙඳපොළ පැමිණිලි මත නියැදි පරීක්ෂාවයි. මෙයට අමතරව වෛද්‍ය සැපයුම් අංශයේ ටෙන්ඩර් සාම්පල් පරීක්ෂාව ද සිදු කරන බව ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
තවද සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැතිවරයා කොළඹ 07, රාජ්‍ය ඔසුසල් පරිශ්‍රයේ විශේෂ නිරීක්ෂණයක නිරත වී ඔසුසල මඟින් ජනතාවට සිදු කෙරෙන කාර්යභාරය හා එහි ස්ථාපිත නවීන රසායනාගාරය මෙන් ම රාජ්‍ය ඔසුසලේ නව ඉදිකිරීම් ගැන විශේෂ අවධානයක්ද යොමු කර සිටියේය.