Monday, March 27, 2023
Follow Us

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (02) පෙරවරුවේ මල්වතු, අස්ගිරි මහා නා හිමිවරු බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.

පළමුව මල්වතු මහා විහාරය වෙත පැමිණි ජනාධිපතිවරයා මල්වතු මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නා හිමිපාණන් වහන්සේ බැහැදැක සුවදුක් විමසා අටපිරිකර පූජා කළේය.

මල්වතු මහා නා හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ජායනා කර ජනාධිපතිවරයාට ආශිර්වාද පළ කළ අතර මල්වතු මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නා හිමිපාණන් වහන්සේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත විශේෂ සමරු තිළිණයක් ද පිළිගැන්වූහ.

මල්වතු මහා විහාරයේ තැන්පත් කර ඇති සමරු ග්‍රන්ථයේ සටහනක් තැබීමට ජනාධිපතිවරයා අමතක නොකළේය.

අස්ගිරි මහා විහාරයට පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමිපාණන් වහන්සේ බැහැදැක කෙටි පිළිසඳරක නිරත විය.

අස්ගිරි මහා විහාරයේ සංවර්ධන කටයුතු පිළිබඳව ද මෙහිදී ජනාධිපතිවරයා විමසා බැලූ අතර අස්ගිරි මහා නා හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය සෙත් පිරිසත් සජ්ජායනා කර ජනාධිපතිවරයා වෙත ආශිර්වාද පළ කළහ.